දේශීය දැනුම් පද්ධතියක අවශ්‍යතාව

පර්යේෂණ සංස්කෘතියක් විශ්වවිද්‍යාලයක පැවතීම අත්‍යවශ්‍යය. වෙනත් අධ්‍යාපන ආයතනවලින් විශ්වවිද්‍යාලය වෙනස් වන ප්‍රධාන හේතුවක් වන්නේ එයයි. ඒ සඳහා පර්යේෂණ සම්මන්ත්‍රණ පැවැත්වීම අගය කළ යුත්තකි. එහෙ⁣ත් එහි ඉදිරිපත් වන පර්යේෂණ ජර්නල්වලට පමණක් සීමා නොවිය යුතුය. එනම් ඒවා රටක සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම කෙසේ⁣ වෙතත් අවම වශයෙන් ශාස්ත්‍රීය සංස්කෘතිය පෝෂණය කිරීමට හෝ එම පර්යේෂණ දායක කර ගත යුතුය. අප තවමත් මෙරට විශ්වවිද්‍යාල තුළ පුනරුච්ඡාරණය කරන්නේ විදේශිකයන් අපට හඳුන්වාදුන් දැනුමයි. ඒවාට අභියෝග කළ හැකි හෝ ඒවා ප්‍රතිස්ථාපනය කළ හැකි නව දැනුම පර්යේෂණ සම්මන්ත්‍රණ තුළින් අප සොයාගත යුතුය. වාර්ෂිකව පර්යේෂණ සම්මන්ත්‍රණ ගණනාවක් මෙරට විශ්වවිද්‍යාලවල පැවැත්වුව ද මෙකී නව දැනුම අවශ්‍යතාව ඒවා තුළින් පූර්ණය වීමක් තබා ඊට ප්‍රවේශයක් සපයන බවක් හෝ දක්නට නැත. මෙරට පර්යේෂණ සම්මන්ත්‍රණ ගණනාවකට මා ද සහභාගි වී තිබේ. සම්මන්ත්‍රණවලින් පසු එම පර්යේෂණවල දැනුම ශාස්ත්‍රීය පද්ධතියට සම්බන්ධ කරන කිසිදු වැඩපිළිවෙළක් හෝ සැලසුමක් නොමැත. එබැවින් වඩාත් වැදගත් වන්නේ එම වැඩපිළිවෙළ සකස් කිරීමයි. කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය දෙවැනි වරට සංවිධාන කරන මෙම පර්යේෂණ සම්මන්ත්‍රණයට එම මණ්ඩපයේ ආදි විද්‍යාර්ථීයෙකු ලෙස මම සුබ පැතුම් පිරිනමමි. මෙම සම්මන්ත්‍රණය දේශීය දැනුම් පද්ධතියක් ගොඩනැගීමට කෙ⁣සේ වෙතත් ඊට ප්‍රවේශයක් හෝ සැපයීමට යොදාගනු ඇතැයි මාගේ අපේක්ෂාවයි.

Comments

comments