ඔපෙරා ක්‍රමයෙන් කිෂානි “දන්නෝ බුදුන්ගේ” ගීතය ගැයීම සුදුසු ද…?

මෙවර නිදහස් සමරු උළෙල පැවැත්වූ දින සන්ධ්‍යාවේ පැවති සංස්කෘතික ප්‍රසංගයේ දී ඔපෙරා ගායිකා කිෂානි ජයසිංහ විසින් දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලිය අනුව ගායනා කිරීම පිළිබඳ බොහෝ දෙනා විවිධ අදහස් පළකර සිටියහ. දේශීය සංස්කෘතිය අගය කරන බොහෝ අය එය හෙළා දකිමින් අදහස් දැක්වූ නමුත් එය ගායනා කළ කිෂානි එය සාධාරණීකරණය කරමින් අදහස් දක්වා සිටියාය. කෙසේ වුවත් මෙරටට ආගන්තුක ඇය ලෝකයේ නම් දැරූ ඔපෙරා ගායිකාවක වුවත් නිදහස් දිනයෙන් පසුදා සිට නම් ඇය මෙරට ජනතාවට ආගන්තුක චරිතයක් බවට පත් නොවුණි. එනිසා ජනමාධ්‍ය තුළ හා සමාජ මාධ්‍ය ඔස්සේ ඇය පිළිබඳ කතාබහට ලක්වූ අතර ඇගේ ගායනය පිළිබඳ සිය ස්වාධීන අදහස පළකළ දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදකයෙකු ලෙස සේවය කළ මාධ්‍යවේදී සංඛ අමරජිත්ට තම මාධ්‍ය රැකියාවෙන් ඉවත්වී ගෙදර යෑමට පවා සිදුවිය. එබැවින් මෙවැනි තත්වයක් හා රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිදුවීම පිළිබඳ Iranga.net වෙබ් අඩවියේ මෙසේ සටහනක් තබමි.

දන්නෝ බුදුන්ගේ ගීතය තවත් හුදු සිංහල ගීතයක් පමණක් නොවේ. එය වූ කලී දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය හා බෞද්ධ සංස්කෘතිය සමඟ අනන්‍යව බද්ධ වූ ගීයකි. නීතිඥ ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නූර්තිය තුළ අන්තර්ගතවූ එය වසර ගණනාවක් පුරා ලාංකේය ජන හදවත් බෞද්ධාගමික භක්තියෙන් දෝවනය කළ ගීයක් විය. එනිසා එවැනි ගීයක් බටහිර සංගීත රටාවකට අනුව ගැයීම ඔස්සේ මෙරට ජනයා තුළ ආන්දෝලනයක් ඇතිවීම සාමාන්‍ය තත්වයකි. එහෙත් කිෂානි පවසන පරිදි එය එකී ගායනා ශෛලිය පිළිබඳ මෙරට ජනයා තුළ වූ නොදැනුවත්භාවය නිසා සිදුවූවක් ලෙස අර්ථදැක්වීම කිසිසේත් සුදුසු නොවන අතර ඇගේ ගායනය මඟින් මෙම ගීතය සමඟ බද්ධ වූ දේශීය සංස්කෘතිය කෙළෙසීමට ලක්වීම මෙම ජන ආන්දෝලනයට සෘජුවම බලපෑ බව කිව යුතුය.

කිෂානි මෙම ගීතය ඔපෙරා ශෛලියෙන් ගායනා කිරීම සම්බන්ධව පෙරළා ඇයට යමක් මෙසේ ප්‍රකාශ කරමි. එනම් ඇය වෙනත් රටකට ගොස්, නිදසුනක් ලෙස ඇය බ්‍රිතාන්‍යයට ගොස් ක්‍රිස්තියානි ආගම හා පූජනියත්වයෙන් එරට ජනයා සලකනු ලබන ගීතයක් ලාංකේය සංස්කෘතියට අනන්‍ය වූ උඩරට වන්නමක් තුළ එන රිද්මයකින් ගායනා කළහොත් එයට එරට ජනයා ඇයට විරෝධයක් පළ නොකර සිටී යැයි පැවසිය හැකිද? නොහැකිය. මන්ද යත් වසර ගණනාවක් පුරා ජන විඥානය ආමන්ත්‍රණය කළ ආගමික නැඹුරුවක් සහිත එවැනි ගීතයක් ගායිකාවක විසින් විකෘති කර ගායනා කිරීම (මෙහිදී විකෘති කිරීම ලෙස මා හැඳින්වූයේ අදාළ ගීතය ජනතාව අතර බුහුමනට පාත්‍ර වී ඇති එහි මුල් රිද්මය අනුව ගායනා නොකිරිමයි.) ජනයා විසින් කිසිසේත් අනුමත නොකරන බැවිනි. එහෙත් කිෂානි පවසන්නේ සංගීතය විශ්ව භාෂාවක් වන බැවින් සංගීත රසවින්දනයට ජාතියක් හෝ ආගමක් වැදගත් නොවන බවයි. කෙසේ වුවත් යම්කිසි ගීතයක් අදාළ රටේ ජනයාගේ සංස්කෘතික සාධකයක් බවට පත්වී ඇති අවස්ථාවක එම සංස්කෘතියට හානිදායක වන අන්දමින් එම ගීතය ගායනා කිරීම කිසිසේත් සුදුසු නොවේ.

මෙම සිදුවීම හා යම්තාක් දුරකට සමාන සිදුවීමක් මීට වසර කිහිපයකට පෙර ද මෙරටේ සිදුවූ බව මට මතකය. එනම් සුප්‍රකට ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ පුත්‍රයා විසින් පවත්වාගෙන යනු ලැබූ Daddy සංගීත කණ්ඩායම නිර්මාණය කළ එක්තරා ගීතයක් තුළ ජයමංගල ගාථා ඇතුළත් වීම නිසා ඊට එරෙහිව නැඟුණු චෝදනාවයි. එහිදී ජයමංගල ගාථා රැප් කළ බව පවසමින් ජාතික හෙළ උරුමය එම ගීතය තහනම් කළ යුතු බවට සිදු කළ ප්‍රකාශ පළවූ ප්‍රවෘත්ති පවා එකල පුවත්පත් තුළ දක්නට ලැබුණි. එහෙත් කිෂානි දන්නෝ බුදුන්ගේ ගීය ගායනා කිරීම තරම් සමාජ අවධානයක් ඒ සඳහා යොමු නොවීම ඔස්සේ ඒ පිළිබඳව සමාජය තුළ ආන්දෝලනයක් ඇති නොවුණි.

කිෂානිගේ මෙම ගායනා කිරීම පිළිබඳව දෙරණ නාලිකාවේ නිවේදකයෙකු වූ මාධ්‍යවේදී සංඛ අමරජිත් එම නාලිකාවේ උදෑසන වැඩසටහනකදී කළ අදහස් දැක්වීමද කිෂානි කෙරෙහි සමාජ අවධානය වැඩි වශයෙන් යොමු වීමට තවත් හේතුවක් විය. එහිදී ඔහුගේ අදහස මෙරටේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පළ කිරීම නුසුදුසු වුවත් ඔහුගේ ස්වාධීන අදහස් දැක්වීමේ අයිතිය විවේචනය කිරීම සුදුසු නොවේ. එම අදහස දෙරණ රූපවාහිනී නාලිකාව භාවිත කරමින් සිදුකිරීම පමණක් හෙළා දැකිය යුතු වන අතර ඔහුගේ මතය කුමක් වුවත් එවැනි මතයක් දැරීමට ඔහුට මෙන්ම මෙරටේ ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇත. කෙසේ වුවත් සංඛ අමරජිත්ගේ මෙම මාධ්‍ය භාවිතය මෙරට අග්‍රාමාත්‍යවරයාගේ පවා දෝෂදර්ශනයට ලක්වූ අතර විවිධ පාර්ශව වෙතින් එල්ල වූ බලපෑම් මත මාධ්‍යවේදී සංඛ අමරජිත් වැඩ තහනමකට ලක්විය.(කෙසේ වුවත් මෙම ලිපිය ලියන අවස්ථාව වන විට සංඛ අමරජිත් නැවතත් දෙරණ රූපවාහිනී නාලිකාවේ සේවය සඳහා කැඳවා තිබේ.)

නිදහස් දිනය වැනි රටක ජාතියේ අනන්‍යතාව ලෝකය හමුවේ විදහා දැක්වෙන දිනයක ජාතියේ සංස්කෘතියට බද්ධ වූ ගීතයක් එකී සංස්කෘතියට නුසුදුසු වන අයුරින් ගායනා කිරීම තුළ කිෂානි ජයසිංහ පිළිබඳ මුළු රටේම කතාබහට ලක්විය. එම කතාබහ තුළ විවිධ පාර්ශව වෙතින් පළවූ විවිධ අදහස් ඔස්සේ ඇගේ මෙම ගායනය සිදු නොවිය යුත්තක් වූ බව පසක් විය. එහෙත් නැවත එවැන්නක් සිදු කිරීමට කිෂානිගෙන් පසු වෙනත් අයෙක් උත්සාහ කරයි නම් ඒ සඳහා ලැබෙන සමාජ ප්‍රතිචාරය දැන් ඉතා පැහැදිලිය. එබැවින් යමක් සමාජගත කිරීමට පෙර එය මෙරටේ සංස්කෘතිය සමඟ දක්වන සබැඳියාව පිළිබඳ අවබෝධයකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් බව මෙම සිදුවීම රට හමුවේ කියා පාන සත්‍යයයි. එනිසා මෙවැනි සිදුවීම් අනාගතයේදීවත් ඇති නොවීමට කටයුතු කළ යුතු බව අවසාන වශයෙන් පැවසිය යුතුය.

නිදහස් දිනය දා කිෂානි ඔපෙරා ශෛලියෙන් ගැයූ දන්නෝ බුදුන්ගේ ගීතය…

කලකට පෙර විවාදයට බඳුන් වූ Daddy සංගීත කණ්ඩායම ගැයූ ගීතය..

Comments

comments