කුඩම්මාගේ සැලකිලි ලබන අපේ රටේ පෙම්වතුන්ගේ කතාව…

යම් කිසි රටක පෙම්වතුන්ගේ ගහනය එම රටට සම්පතක් ද නොඑසේනම් රටේ යහ පැවැත්මට බාධාවක් දැයි විමසීමේ දී වෙනත් රටවලට කෙසේ වුවත් එය මෙරටට නම් පීඩාවකාරී වූවක් වන බව කාලයක් පුරාවට පෙම්වතුන්ට ලක්වීමට සිදුවූ විවිධ අපහසුතා හා ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ යම් යම් සිදුවීම් ඇසුරෙන් අවබෝධ කර ගත හැකිය. විශේෂයෙන්ම මෙරටේ ප්‍රසිද්ධ ස්ථානවල රැඳී සිටීමේ නිදහස පෙම්වතුන්ට අහිමි කිරීම ඔස්සේ මෙරට තුළ පෙම්වතුන්ට හිමි වී ඇති සමාජ වටිනාකමේ තරම කියාපායි. එහෙත් පෙම්වතුන්ට එවැනි දුෂ්කරතාවන්වලට මුහුණ පෑමට සිදුවීම සාධාරණ ද? මේ ඒ පිළිබඳව Iranga.net තුළ තබන සටහනකි.

පෙම්වතුන් පිළිබඳ සමාජ අවධානය යොමු වීමට හේතු වූ සිදුවීමක් ඉකුත් වසරේ දී මාධ්‍ය මඟින් වාර්තා විය. ඒ නිදහස් චතුරශ්‍ර ගොඩනැඟිල්ලේ පෙම්වතුන්ට රැඳී සිටීමට අවස්ථාව ලබා නොදෙමින් ක්‍රියා කළ එක්තරා ආරක්ෂක නිලධාරියෙකු හා පෙම්වතුන් යුවලක් අතර ඇතිවූ වචන හුවමාරුවක් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරිම නිසා පෙම්වතුන්ගේ එකමුතුවෙන් එම ස්ථානයේ දී විරෝධතාවක් සංවිධානය වීම හා පෙම්වතුන් වෙනුවෙන් එයට මෙරට ප්‍රධාන පෙළේ ඇමතිවරයෙකුගේ සහාය ලැබීමේ සිදුවීමයි. මෙම සිදුවීම මඟින් මෙරටේ ප්‍රසිද්ධ ස්ථානවල පෙම්වතුන්ට රැඳී සිටීමේ අයිතිය පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය වූ අතර අවසානයේ නිදහස් චතුරශ්‍රයේ දී පෙම්වතුන් දහස් ගණනකට අත්විඳීමට සිදුවූ දුෂ්කරතා නිමාවට පත්විය.

එහෙත් ඉහත සිදුවීමට පෙර නිදහස් චතුරශ්‍රයේ පැවති තත්වය හා සමාන තත්වයක් තවමත් මෙරටේ බොහෝ ස්ථානවල පෙම්වතුන්ට එරෙහිව ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම ඇතැම් ආගමික ස්ථානවල ආරක්ෂක නිලධාරීන් සහ එම ස්ථානවල ආගමික නායකයින් පෙම්වතුන් සම්බන්ධව අනුගමනය කරනු ලබන පිළිවෙත් අතිශය කනගාටුදායක වන මෙහි දී සඳහන් කිරීම වැදගත්ය. එහි දී සුදුවතින් සැරසී වන්දනා කිරීමේ අරමුණ සහිතව පූජනීය ස්ථානයට ඇතුළු වන පෙම්වතුන් දෙස වපර ඇසින් බලා ඔවුන්ව එම ස්ථානයෙන් පලවා හැරීමට තරම් සාහසික වන ඇතැම් ආගමික නායකයින් ද අප රට තුළ සිටිනා බව කණගාටුවෙන් වුවත් පැවසිය යුතුය. එවැනි තත්වයක් ඇතිවූ විට පෙම්වතුන්ට මුහුණ පෑමට සිදුවන තත්වය පිළිබඳ විස්තර කළ යුතු නැත. එසේ නම් වරද ඇත්තේ පෙම්වතුන් සතුව ද එසේත් නොමැති නම් ඔවුන්ට නිර්ලජ්ජිත අන්දමින් සලකන පුද්ගලයන් අතේ ද යන්න බුද්ධිමත්ව සිතා බැලිය යුතුය.

එසේම ඇතැම් පූජනීය ස්ථානවලට ඇතුළු වීමට පෙම්වතුන්ට තහනම් පනවමින් ප්‍රදර්ශනය කර ඇති දැන්වීම් පුවරු දැකගත හැකි වීම වසර දහස් ගණනක් පුරා මෙරට තුළ පැවති ආගමික සංස්කෘතිය පවා ප්‍රශ්න ගත කරවයි. එසේ ප්‍රදර්ශනය කර තිබූ එක් පුවරුවක සඳහන් වී තිබුණේ පෙම්වතුන් වශයෙන් පැමිණියා නම් පෙම්වතා හා පෙම්වතිය වෙන් වෙන් වශයෙන් ආගමික ස්ථානයට ඇතුළු වී වන්දනා කර පැමිණෙන ලෙසයි. පෙම්වතුන් සඳහා ඇතැම් ආගමික ස්ථානවල ප්‍රදර්ශනය කර ඇති මෙවැනි හාස්‍යජනක උපදෙස් ඇතුළත් පුවරු ඔස්සේ එම ආගමික ස්ථානය නියෝජනය කරනු ලබන ආගමේ සඳහන් මූලික ඉගැන්වීම් පවා උල්ලංඝනය වන බව පැවසීම සාවද්‍ය නොවේ.

12227603_10153775488694883_6885230220747649373_n

එහෙත් පෙම්වතුන්ට සිදුවන මෙවැනි අසාධාරණයන් පිළිබඳව මෙරටේ කිසිදු මාධ්‍යයක අවධානය යොමු නොවූ අතර ඒ වෙනුවට සිදුවූයේ පෙම්වතුන්ගේ සදාචාර විරෝධී යැයි පැවසෙන හැසිරීම් පමණක් මාධ්‍ය මඟින් ඉස්මතු කර දැක්වීම පමණි. එනිසා පෙම්වතුන් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන පිරිසක් ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසී සිටින අතර පෙම්වතුන් සඳහා පමණක් වෙන් වූ උද්‍යාන, චිත්‍රපට ශාලා සහ ලැගුම්හල් පෙම්වතුන්ට නිදහසේ ප්‍රේම කිරීමට වෙන් වූ ස්ථාන බවට පත් විය.කෙසේ වුවත් එම ස්ථාන තුළ ප්‍රේමය වෙනුවට ලිංගිකත්වයට ඉස්මතු වීම ඔස්සේ වෙනත් අර්බුද ගණනාවකට ද මඟ පෑදුණු බව රහසක් නොවේ.

එසේම පෙම්වතුන් ගැවසෙන බොහෝ ස්‌ථානවල එම අහිංසක පෙම්වතුන්ගෙන් මුදල් ලබා ගන්නා සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක වීම ද පෙම්වතුන්ට මුහුණ පෑමට සිදුවී ඇති අවාසනාවන්ත තත්වයකි. විශේෂයෙන්ම මුහුදු වෙරළ හා ඒ ආශ්‍රිත ස්ථානවල මෙම තත්වය ඉතා සුලභව දැකිය හැකි වන අතර ඊට අමතරව ගාලු මුවදොර පිටිය හා ගාලු කොටුව වැනි ස්ථානවල ද මෙවැනි සිදුවීම් විටින් විට වාර්තා වේ. තව ද යාචකයන් හා ජංගම වෙළෙන්දන්ගෙන් සිදුවන හිරිහැර ඉවසා සිටීමට ද පෙම්වතුන්ට සිදුවේ. විශේෂයෙන්ම මෙවැනි ස්ථානවල රාජකාරී සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් යොදවා සිටිය ද ඔවුන් මෙවැනි තත්ව වැලැක්වීම සඳහා සක්‍රීයව මැදිහත් නොවීම හා එම නිලධාරීන්ගෙන් පෙම්වතුන්ට සිදුවන අපහසුතා නිසා අසරණ පෙම්වතුන් තවදුරටත් කබලෙන් ලිපට වැටීම වැළැක්විය නොහැකි වේ.

ඒ අනුව විමසිය යුතු වන්නේ අප රටේ පෙම්වතුන්ට මුහුණ දීමට සිදුවී ඇති මෙවැනි දහසකුත් වූ අපහසුතාවන්වලට විසඳුම් ලබා දීමට මෙරටේ පරිපාලන හා ආරක්ෂක අංශවල සේවයේ නියුතු නිලධාරීන්ට නොහැකි වී ඇත්තේ මක් නිසාද යන්නයි. ඒ පෙම්වතුන් පිළිබඳ මෙරට සමාජය තුළ මාධ්‍ය මඟින් නිර්මාණය කර ඇති අයහපත් ආකල්ප නිසා ද නොඑසේනම් එම නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව නිසා ද යන්න විශේෂයෙන් අවධානයට ලක්කළ යුතු කරුණකි. එහෙත් තවදුරටත් මෙරට සමාජ ව්‍යුහයෙන් පෙම්වතුන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීමට කටයුතු කරන්නේ නම් එහි අවසාන ඵලය වන්නේ අප රටේ අනාගතයට අර්බුද ගණනාවක් නිර්මාණය වීම බව අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතුය.

(ඡායාරූපය උපුටා ගැනීම: https://asammathayaaa.wordpress.com බ්ලොග් අඩවිය)

ආශ්‍රිත ලිපි
සල්ලාල පෙම්වතුන් අතින් වැනසෙන සරසවි සිසුවියන්ගේ ජිවිත
සරසවි ප්‍රේමය හා ලිංගිකත්වය

Comments

comments

2 comments

  1. පෙම්වතුන් වෙරළවල් වල අසභ්යව හැසිරෙන එක වරදක් මම හිතන්නේ. නමුත් ප්‍රශ්නය තමා වෙන එහම් හැසිරෙන්න තැනක් නැති වීම. වදිටියන්ට පමණයි වගේ උද්‍යානයක් හැදුව නම් හරි. හේ හේ

    • ඔව් ඒක ඇත්ත අයියා. ඒත් ලංකාවෙ නම් එහෙම දෙයක් වෙයි කියලා හිතන්න අමාරුයි තව අවුරුදු සීයක් ගියත්.

Please comment using your facebook account.