යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව

mohan_article_awardමුලින්ම මාධ්‍යවේදියෙකු ලෙසත් අනතුරුව නිවේදකයෙකු ලෙසත් පසුව ලේඛකයෙකු ලෙසත් අප හඳුනා ගන්නා මොහාන් රාජ් මඩවල මෑත කාලයේ සමාජය තුළ වඩාත් කතාබහට ලක් වූ නවකථා කිහිපයකම කතුවරයාය. ලොවීනා, මාගම් සෝලිය හා ආදරණීය වික්ටෝරියා ලෙස සමාජගත වූ ඔහුගේ නවකථා ත‍්‍රිත්වය තුළ සාම්ප‍්‍රදායිකව නූතන කතුවරුන් විසින් අනුගමනය කොට ඇති බොහෝ රීතීන් බිඳ දමා තිබේ. විශේෂයෙන්ම ලාංකේය සමාජය තුළ මුල් බැස ගෙන ඇති විවිධ විශ්වාස, ඇදහිලි ක‍්‍රම හා බැඳුණු අභිචාර විධීන් මෙන්ම කිසිවිටෙකත් සිදුවිය නොහැකි යැයි සිතිය හැකි සිද්ධීන්වලින් ද ආඪ්‍ය වන මෙකී නවකථා තුළ එවැනි දෑවලට පසුබිමෙන් දිවෙන ඉතිහාස කතා ද අන්තර්ගත කොට තිබේ. එකී ඉතිහාසයත්, නවකථාවේ සම්මත රීතීන්වලටත් අභියෝග කරන මොහාන්ගේ ලේඛන ශෛලිය පිළිබඳවත් මෙකී නවකථා ත‍්‍රිත්වය පාදක කර ගනිමින් මොහාන් රාජ් මඩවලයන් සමඟ පැවති සංවාදයක් මත පදනම්ව මෙම සටහන තබමි.

මා මුලින් ද සඳහන් කළ පරිදි බොහෝ දෙනා පවසන්නේ මොහුගේ නවකථා තුළ විශ්වාස කළ නොහැකි, පිළිගත නොහැකි සිද්ධි හා චරිත අන්තර්ගත වන බවයි. කිසිසේත්ම සිදු විය නොහැකි යැයි සිතෙන මෙවැනි දෑ මායා යථාර්ථය හා අධියථාර්ථය ලෙස ද හඳුන්වයි. නමුත් ඒවා කියවන්නාට මැජික් වුවත් මොහාන්ට අනුව නම් ඒවා මැජික්වත් මායා යථාර්ථයවත් නොවේ. මන්ද යත් ශක‍්‍රයා දිව්‍ය ලෝකයෙන් මහ පොළොවට පැමිණ මිනිසුන්ගේ ප‍්‍රශ්න විසඳා යළි දෙව්ලොවට ගියා යැයි කියා අපට පැවසූ විට අපි ඒවා ප‍්‍රශ්න කිරීමෙන් තොරව පිළිගතිමු. එය සිදු වූයේ කොහොම ද? කෙලෙස ද? කියා අපි පෙරළා ප‍්‍රශ්න නොකළෙමු. ඒ සියල්ලක්ම ඇත්තටම සිදු වූ බව අපි විශ්වාස කළෙමු. එසේ නම් මොහාන් ප‍්‍රකාශ කරන පරිදි ඔහුගේ පොත්වල අඩංගු වන දෑ සිදුවිය නොහැකි යැයි හෝ විශ්වාස කළ නොහැකි යැයි කියා ප‍්‍රකාශ කරන්නේ කුමක් නිසා ද? මෙය පෙරළා මොහාන් අපෙන් නඟන ප‍්‍රශ්නයයි. නමුත් ඔහුම ප‍්‍රකාශ කරන පරිදි බහුතරයක් නවකථා දෙස බලන මානයෙන් ඔහුගේ නවකථා දෙස බැලීමට නොහැකිය. එනම් මොහාන්ගේ නවකථා දෙස බැලිය යුත්තේ වෙනත් වූ තලයක වෙනත් වූ මානයක සිටය. එවිටය මෙකී නවකථා බොහෝ දෙනා පවසන පරිදි මැජික් ලෙස අපට දැකිය නොහැකි වන්නේ.

මෙම සංකල්පය තවදුරටත් පැහැදිලි කර ගැනීම උදෙසා නිදසුනක් සලකා බලමු.

“ලොකු හාමුදුරුවෝ බෝධි වෘක්ෂයට පිටුපා පද්මාසනයෙන් සිටියහ. උන්වහන්සේගේ ශරීරය තිබුණේ බෝ මළුව උඩ වැලි කැට ස්පර්ශ කරමින් නොවේ. බෝ මළුවට බඹ දෙක තුනක් ඉහළිනි. සැබවින්ම හිස් අවකාශයේ ඒ උත්තුංග ශරීරය පාවෙමින් තිබුණේය.

(මාගම් සෝලිය, 18 වන පිටුව)

අපට විශ්වාස කළ නොහැකි, අප කිසි දා දැක නොමැති නමුත් මොහාන්ගේ නවකථාවක් තුළ අන්තර්ගත වන සිද්ධියකි මා ඉහතින් දැක්වූයේ. මෙහි පන්සලේ හාමුදුරුවන් අහසේ පාවීම ඇබිත්ත කොලූවා විසින් දකියි. රහතුන් වහන්සේලා අහසින් යෑම, අහසේ පාවීම වැනි දෑ අසා විශ්වාස කළ අපට මාගම් සෝලිය නවකථාවේ මෙම සිද්ධිය පමණක් ආශ්චර්යයක් වන්නේ කෙසේ ද යන්න මොහාන් මෙහි දී නඟන තර්කයයි. මේ අනුව බලන කල බණ කතා සාහිත්‍යය ප‍්‍රශ්න නොකරමින් පිළිගත් අපට මොහාන්ගේ නවකථා අරුමයක් නොවිය යුතුය. නමුත් එය එසේ නොවේ. එනිසාය අපට මැජික් ලෙස පෙනෙන දෑ මොහාන්ට යථාර්ථය ලෙස පෙනෙන්නේ.

මායා යථාර්ථය පිළිබඳව මොහාන්ගේ නවකථාවලට නැඟෙන චෝදනාවට අමතරව ඔහුගේ නවකථාවලට එල්ල වන තවත් ප‍්‍රධාන චෝදනාවක් වන්නේ ඒවා තුළ බහුල ලෙස ලිංගිකත්වය උත්කර්ෂයට නැංවීමයි. එනම් ලිංගික ක‍්‍රියාවන් හා බැඳුණු සිද්ධි රාශියක් නවකථාව තුළ ගොනු කිරීමයි. ඒවා සියල්ලක්ම පාහේ සමාජය විසින් අසංස්කෘත යැයි අසම්මත යැයි කියා සලකනු ලබන ලිංගික ක‍්‍රියාය. පියා සිය දියණිය සමඟ රමණයේ යෙදීම, පුරුෂයා නිවසේ නොමැති විට පුරුෂයාගේ මිත‍්‍රයෙක් සමඟ බිරිඳ රමණය කිරීම, පියාගේ පෙර විවාහයේ පිරිමි දරුවෙක් පියා ඉන්පසුව විවාහ වූ කාන්තාව සමඟ හෙවත් සිය කුඩම්මා සමඟ රමණයේ යෙදීම, පන්සලේ වසන මහණ නොවුණ පුද්ගලයෙක් (ගම්මුන් විසින් මහණ වූ තැනැත්තෙක් ලෙසම සලකන) ගමේ කාන්තාවක් සමඟ පන්සල තුළදීම ලිංගිකව හැසිරීම වැනි වූ අසම්මත ලිංගික ක‍්‍රියාවන් රැසක් මොහාන් සිය නවකථා තුළ උත්ප‍්‍රාසයෙන් යුතුව වර්ණනාවට නඟයි. ඒවා එක අතකින් සිය නවකථාවලට වැඩි අලෙවියක් අත්පත් කර ගැනීම උදෙසා මොහාන් යෙදූ උපක‍්‍රමයක් ද විය හැකිය. නමුත් මොහාන්ගේ අදහස අනුව නම් ඔහුගේ උත්සාහය වන්නේ මෙවැනි වූ කිසිම ලිංගික චර්යාවක් සමාජගත කිරීම නොවේ. එසේම ලාංකික සමාජය වූ කලී අසම්මත ලිංගික සබඳතාවලින් නොපිරුණු තැනක් ද නොවේ. සිය කායික තෘප්තිය උදෙසා සමාජයෙන් වසන් වී අනියමින් සිය සිරුර පිනවීමට බොහෝ දෙනා කටයුතු කරමින් සිටියි. නමුත් එය විවෘත නැත. කුඩා කල සිටම සමාජය හා සංස්කෘතිය විසින් අපට උගන්වන්නේ ලිංගික ක‍්‍රියා සමාජයෙන් වසන් වී කරන ලෙසය. මෙහි තේරුම ප‍්‍රසිද්ධ ස්ථානවල ලිංගික ක‍්‍රියා කළ යුතු බව නොවේ. මෙහි විවෘත බව යැයි පැවසුවේ වසන් කොට කරන දෑ බොහොමයක්ම සමාජ විරෝධී වන නිසාය. එහෙත් අතීතයේ දී අප රට තුළ අභිමානවත් ලිංගික සංස්කෘතියක් පැවතුණි. ග‍්‍රාමීය සංස්කෘතිය තුළ පවා “කුල්ල පේ කිරීම” වැනි චාරිත‍්‍රවාරිත‍්‍ර පැවතුනේ මේ නිසාය. නමුත් විදෙස් ආක‍්‍රමණත් සමඟ පුහු වික්ටෝරියානු සුචරිතවාදය මෙරට තුළ පැතිරීම නිසා අව්‍යාජ මිනිසා ව්‍යාජ මිනිසා බවට පත්විය. පිටට එකක් පෙන්වා ඇතුළතින් තව දෙයක් කරන බොරුකාර සමාජයක් මෙරට තුළ නිර්මාණය වන්නේ ඒ නිසාය. එම වික්ටෝරියානු සංස්කෘතිය තුළ ලිංගික ක‍්‍රියාකාරකම් අසම්මත ස්වරූපයෙන් සමාජගත වන්නට විය. එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි ලාංකීය සමාජයේ රහස් ලිංගික සබඳතා මොහාන්ගේ නවකථා තුළින් සමාජයට ප‍්‍රක්ෂේපණය වීම තුළ ඒවාට ප‍්‍රතිවිරෝධයක් සමාජය තුළින්ම හටගන්නේ.

පුද්ගලයා වඩාත් සංතෘප්තියට පත්වන්නේ සම්මතය තුළින් නොව අසම්මතය තුළිනි. සමාජය පිළිගන්නා එක් පේ‍්‍රම සබඳතාවකින් ලැබෙන තෘප්තියට වඩා සංතෘප්තියක් ඊට විකල්ප පේ‍්‍රම සබඳතාවයකින් ලැබේ. ලිංගික සම්බන්ධතාවලට ද මෙම තත්වය අදාළය. සිය බිරිඳගෙන් ලැබෙන ලිංගික තෘප්තියට වඩා තෘප්තියක් පුරුෂයා අපේක්ෂා කරන්නේ අනියම් කාන්තාවකගෙනි. ඒ අනුව මොහාන් සිය කතා තුළ උත්කර්ෂයට නංවන්නේ මේවාය. පසුව පුහු වික්ටෝරියානු සංස්කෘතිය විසින් සමාජය තුළ අසම්මතකරණයට ලක් කළ ලිංගික සංස්කෘතිය මොහාන් සිය නවකථා තුළින් නූතන සමාජයට විධාරණය කරනු ලබයි. මොහාන්ගේ නවකථා තුළ මතභේදයට තුඩු දුන් ලිංගික සබඳතා කිහිපයක් නිදසුන් කර ගනිමින් මෙම තත්වය පැහැදිලි කර ගැනීමට උත්සහ දරමු.

“ ‘මං යන්නද කුඩම්මෙ පිලට…’

ඔහොම ඉඳහං… මගෙ පපුව ටිකක් හිර කරනවා… පපුව ටිකක් අත ගාපං…’

ඔහු ඇය සිටි පැත්තට හැරුණේය……………………………………………………………………….

………………………………. ‘මට සීතලයි බං… මාව බදා ගනින්…’

ඇය ඔහුගේ ගෙල සිපගත්තාය. කන් පෙති අත ගෑවාය. දත්වලින් නිකට හැපුවාය. දෙතොල් උරා බීවාය….

…………………………………පසුව ඔහුගේ ඇඟ උඩට නිරුවතින් නැග මුළු ජවයෙන්ම ඔහු බදාගෙන යටි බඩ ඔහුගේ සිරුරට තද කරගෙන කෙඳිරිගාන්නට වුණාය.”

(මාගම් සෝලිය, 9, 10 පිටු)

පුංචි රාළගේ පළමු විවාහයේ දරුවෙකු වන සුදු බණ්ඩා සමඟ මෙහි දී ලිංගික ක‍්‍රියාවක නිරත වන්නේ පුංචි රාළගේ ඊළඟ විවාහයේ බිරිඳ වන ගෝමරීය. එනම් ඇය සුදු බණ්ඩාගේ කුඩම්මාය. සමාජය තුළ කිසිසේත්ම අනුමත කළ නොහැකි යැයි සිතෙන මෙවැනි සබඳතාවක් එක් අතකින් වැඩිහිටි කාන්තාවක් ළාබාල පිරිමි ළමයෙකු සමඟ පවත්වන සබඳතාවකි. මෙම රමණයට මූල බීජය ගෝමරීම වේ. මෙය එක් දහස් අටසිය ගණන්වල සිදු වූ කතාවක් වුවත් අද ද මෙවැනි දෑ  ඕනෑ තරම් සිදුවෙමින් තිබේ. මොහාන් මෙවැන්නක් සිය නවකථාව තුළ අන්තර්ගත කිරීම යන්නෙහි අරමුණ එය අනුමත කරන්නට යැයි කියා සමාජයට බලපෑම් කිරීමවත් එය වරදක් නොවේය කියා එය සමාජගත කිරීමවත් නොවේ. එක් අතකින් මෙය කියවිය හැකි වන්නේ අනියමින් හෝ සිදුවන සංසිද්ධියක් මොහාන් සිය නිර්මාණයකට ඈඳාගෙන ඇති බවය. නමුත් කිසිසේත්ම මෙවැනි දෑ කිරීම යහපත් යැයි කීම සමාජගත කිරීමක් ලෙස එය අර්ථකතනය නොකළ යුතුය.

මෙම සංසිද්ධියෙන් පසුව පුංචි රාළ විසින් පන්සලට පිටුවහල් කරන සුදු බණ්ඩා ඉන්පසුව ඇබිත්ත කොලුවාත් පසුව ඇබිත්ත උන්නාන්සේත් බවට පත්වෙයි. උන්වහන්සේට දාව ගෝමරීගේ කුස තුළින් සම්මත නෑකමක් කිව නොහැකි දරුවෙකු උපත ලබයි. ඒ බිංදුය. සිය පියා අඹුකමට ගෙනා ගැහැණිය සමඟ නිදි වැද එහි ඵලයක් ලෙසට බිහි වූ මෙම දරුවාට සැබැවින්ම හැඳුනුම්පතක් නැත. ඔහුට හැඳුනුම්පතක් නැති වීමම සංකීර්ණ සමාජ අසම්මතයක ඛේදවාචකය ඉස්මතු කරයි. කතාවේ ගොඩනැඟීමට එය වැදගත් වන්නේ එහෙයිනි.

මාගම් සෝලියට එම නම ඈඳෙන්නේ ද මෙම ඇබිත්ත උන්නාන්සේ පන්සල තුළ කාන්තාවක් සමඟ විසීමත් සමඟය. ඇය සොබනීය. දරුවෙක් නොමැති ඇයගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම පිණිස මෙම ඇබිත්ත උන්නාන්සේ ඇය සමඟ නිදි වදියි. මෙය ද අප සංස්කෘතියට අනුව අතිශය පිළිකුල් සහගත දෙයක් වුවත් එවැනි දෑ හොර රහසේම හෝ අදටත් සිදු නොවේ යැයි කියා කිව හැක්කේ කාට ද? අසම්මතය යනු සිදු නොවිය යුතු දෑ සිදු වීම වුවත් එකී අසම්මතයන් නිරන්තරයෙන් සිදු වෙමින් පවතී. යථාර්ථය වන්නේ එයයි. මොහාන් සිය නවකථා තුළින් ගෙනහැර පාන යථාර්ථය වන්නේ ද එයයි.

මාගම් සෝලියේ එන තවත් ප‍්‍රබල අසම්මත ලිංගික ක‍්‍රියාවකට නිදසුනක් වන්නේ පුංචි රාළ වන තම පියා ඔහුට දාව ගෝමරී නම් ඔහුගේ බිරිඳ විසින් බිහි කරන ලද වල්ලී සිය භාර්යාව වශයෙන් තබා ගැනීම හා ඇය සමඟ රමණය කිරීමයි.

හැම රෑකම පුංචි රාළ ඇගේ ඇඟ උඩ නැගී හති හලමින් උස් පහත් වන විට ඇගේ මූණට කෙළින්ම හමුවුණේ මේ තුවාල කැළල්ය. …………………..ඈ අන්තිමේදී ඔහු ඇඟ උඩ නගින විට ඇස් පියාගන්න පුරුදු වුණාය.

………………………………………ඒ අනුව පුංචි රාළට හිතේ එකලාසයක් ඇතිව වල්ලීත් එක්ක සංවාසයේ යෙදෙන්න ඉතිරි වී තිබුණේ සඳුදා දවස විතරය.

(මාගම් සෝලිය, 144 වන පිටුව)

මොහාන් රාජ්ට අනුව නම් පුංචි රාළ සිය දියණිය මල්වර වීමෙන් පසුව ඇය තම පැළට ගෙන්වා ගෙන ඇය සමඟ නිදි වදින්නට පටන් ගැනීම මාගම් සෝළිය නවකථාවේ එන හැරවුම් ලක්ෂයයි. එනම් එම සිද්ධිය සිදු නොවුණා නම් ඉන්පසුව එම චරිතවලට සම්බන්ධ සියලු චරිතවල ඉරණම වෙනස් වන්නට ඉඩ තිබුණි. නමුත් එකී සිද්ධියත් සමඟ සියලු චරිත විනාශය කරා ඇදී යයි. පවුල විසිරෙයි. දරුවන් ඉබාගාතේ යයි. ඉන්පසුව නවකථාව තුළ සිදුවන සියලුම ඛේදවාචකයන්වලට හේතු වන්නේ මෙම අසම්මත හැසිරීමයි. ඒ අනුව පෙනී යන්නේ එම අසම්මත හැසිරීම සාධාරණීකරණය වීමක් හෝ එය හරි යැයි කියා සමාජගත වීමක් මොහාන් තුළින් සිදු නොවී ඇති බවට එම සිද්ධියෙන් පසුව චරිතවලට සිදු වන ඛේදවාචකයන් තුළින්ම ප‍්‍රතිඋත්තර සපයා ඇති බවයි. එනම් එවැනි දෑ සිදු නොවිය යුතුය. එසේ සිදු වීමම යනු ඛේදවාචක රැසකට අත වැනීමකි. මොහාන් අපට නොකියා ප‍්‍රකාශ කරන සත්‍යය වන්නේ එයයි.

මොහාන් රාජ්ගේ මාගම් සෝලිය තුළ ඉහත ආකාරයට අසම්මත ලිංගිකත්වය උත්කර්ෂයට නැංවෙනවා සේම ඔහුගේ අනෙකුත් නවකථා ද්විත්වය වන ලොවීනා හා ආදරණීය වික්ටෝරියා තුළ ද අසම්මත ලිංගික චර්යාවලට ප‍්‍රමුඛ ස්ථානයක් ලබා දෙයි.

“ ‘මට බයයි තනියම ගේ ඇතුළෙ නිදාගන්ඩ…’

එංගල්තිනා ඔහුගේ දකුණු උරහිස ළඟ දැවටෙමින් කෙඳිරුවාය. කුමක් කියම්ද, කුමක් කරම්ද කියා කිසි අදහසක් ඔහුගේ හිතට නැඟුණේ නැත. ඒ වෙනුවට ඔහුට දැනුණේ ඇගේ පුන් පියයුරු ඔහුගේ නිරුවත් පපුව මත තෙරපනවා විතරය.

(ආදරණීය වික්ටෝරියා, 77 වන පිටුව)

එංගල්තිනා වූ කලී අන්දිරිස් නැවතී සිටින නිවසේ හිමිකරුගේ බිරිඳයි. දිනක් සමෙල් නිවසින් දුර බැහැරක ගිය පසු ඔහුගේ බිරිඳ අන්දිරිස් හා රමණය කරයි. එහි පෙළඹවීම ඇත්තේ එංගල්තිනා තුළය. නමුත් අවනත වීම අන්දිරිස් තුළය.  කෙසේ වුවත් ඒ අවනත වීමිම අසම්මත සබඳතාවක ආරම්භය වේ. එතැන් පටන් ඔවුන් සාමෙල්ට හොරෙන් මෙම තහනම් සුවය සොයයි. එය එක් අතකින් සම්මතයෙන් නොලැබෙන තෘප්තිය පසෙක ලා අසම්මත තෘප්තියක් සෙවීමකි. එහෙත් එය වැරදි නම් කිව හැකිද? සමාජ සම්මතය අනුව නම් එසේය. කෙසේ වුවත් මිනිස් සිතුවිලි එසේ නොවේ. වඩා සතුට විකල්පයකින් සොයා යෑම තුළ එහි පරමානන්දයට පත්වේ. එන්ගල්තිනාට හා අන්දිරිස්ට සිදු වන්නේත් එයමය. එහි සතුට කෙතරම්ද යත් නවකථාවේ තවත් තැනක එය අපූරුවට විස්තර කෙරේ.

එබැවින් තවදුරටත් අන්දිරිස් එංගල්තිනාව ගෙදර මෝඩ ගල් බිත්තිවලට හයියෙන් තද කර ගෙන හයියෙන් හති අරින්න පුළුවන් අවස්ථා හැකි තරම් උදා කරගන්න මහන්සි වුණේය…………

………………………………… ඒ කාරිය කරන්නය.

(ආදරණීය වික්ටෝරියා, 98 වන පිටුව)

අසීමිත නිදහස ඇති තැන අසීමිත සතුටත් අසීමිත සතුට ඇති තැන අසීමිත නිදහසත් නැත. එංගල්තිනාට හා අන්දිරිස්ට නිදහසේ රමණයේ යෙදෙන්නට  ඕනෑ තරම් අවස්ථාව තිබුණත් ඔවුන් ප‍්‍රිය කළේ පරණ විදිහටම හිටගෙන බිත්තිවලට තදවී කිසිවෙකු එනවාදැයි කියා හොරෙන් බලමින් ඒ කාරිය කරන්නටය. සංතෘප්තියේ සැබෑ රහස එයයි. පළමුව අසම්මතයෙන් ආරම්භ කර සාමෙල්ගේ මරණයෙන් පසු එය සම්මතයක් බවට පත් වුවත් ඔවුන් අසම්මතයටම ආශා කිරීම මෙහි දී සිදුවේ. මෙය මොහාන්ගේ ආදරණීය වික්ටෝරියා තුළට පමණක් නොව අපගේ ජීවිත තුළටත් සත්‍ය වේ. නමුත් ඒවා පිළිගැනීමටත් අනුමත කිරීමටත් අප පෙළඹෙන්නේ නැත. එය තවමත් අප පශ්චාත් වික්ටෝරියානු සුචරිතවාදී යුගයක පසුවන බවට කදිම නිදසුනක් සපයන්නකි.

මාගම් සෝලිය තුළ හා ආදරණීය වික්ටෝරියා යන කථා ද්විත්වයටම වඩා තරමක් වෙනස් ඇසකින් ලොවීනා තුළ ලිංගිකත්වය උත්කර්ෂයට නැංවේ. එහි අසම්මතය වන්නේ වර්තමාන සමාජයට අසම්මත වුවත් එහි එන සමකාලීන සමාජයට සම්මත බවට පත් වන ක‍්‍රියාවලි තුළ සිදු වන්නා වූ අසම්මතයන්ය. එයට එක්තරා නිදසුනක් වන්නේ දස්කොන්-ප‍්‍රමිලා සම්බන්ධයයි. මේ කථාව අප සමාජයට ආගන්තුක නැත. රජුගේ බිසවක් සමඟ දස්කොන් අධිකාරම් පේ‍්‍රමයෙන් වෙළීම නිසා උරණව දස්කොන්ව මරණයට පත්කිරීම මෙහි දී සිදුවේ. තව ද පුන්නා රජුගේ අන්තඃපුර ස්ත‍්‍රියක් ලෙස රජු විසින් රැගෙන යාමෙන් පසුව රජු විසින් ඇයව බලෙන්ම ලිංගික කාර්යය සඳහා යොදා ගැනීමත් එකල සම්මතය විය. නමුත් ඒ සම්මතය තුළ සිදු වූයේ රජුගේ පුරුෂ ධාතුවට යට වී සිය ස්ත‍්‍රී ආත්මය විනාශ කර ගැනීමටය. පුන්නාටත් ප‍්‍රමිලාටත් ඉවසා සිටීමට සිදු වූ යථාර්ථය වන්නේ එයයි. නමුත් ඒ පිළිබඳව සමකාලීන සමාජයෙන් රජුට උපදෙස් දුන් භික්ෂූන්ගෙන්වත් විරෝධයක් එල්ල නොවේ. එය අතීතය තුළ ස්ත‍්‍රියට එරෙහිව මුදා හරින ලද ලිංගික පීඩනයයි. මොහාන්ගේ අනෙකුත් නවකථා තුළ අසම්මත ලිංගිකත්වය උත්කර්ෂයට නැංවෙනවා සේම ලොවීනා තුළින් උත්කර්ෂයට නැංවෙන්නේ කාන්තාවන්ට එරෙහි ලිංගික බලහත්කාරකම්වල උත්කර්ෂයයි. එනිසා එය වර්තමානයේ නවකථාවකට ගොනු කිරීම කිසිසේත් අසාධාරණ නොවේ.

මොහාන්ගේ කෘතිවලට එරෙහිව ඇතැමුන් නඟන තවත් චෝදනාවක් වන්නේ පන්සල කේන්ද්‍ර කර ගත් බෞද්ධ සංස්කෘතිය තුළට ලිංගිකත්වය එබ්බවීම යන කාරණයයි. විශේෂයෙන්ම මෙය මාගම් සෝලිය තුළ දක්නට ලැබෙන අතර සුදු බණ්ඩා වී හිඳ පසුව ඇබිත්ත උන්නාන්සේ වූ හා ගමේ තැනැත්තන් විසින් ගෞරව බහුමානයෙන් යුතුව සලකන මෙම පුද්ගලයා පන්සල තුළදීම කාන්තාවක් සමඟ ලිංගිකව එකතුවීමත් රමණයෙන් පසු සමාධි සුවයට එළඹීමත් එහි දී දැකිය හැකිය.

සිංහල හෝරා දෙකකට විතර පසු රමණයේ කෙළවර දෙදෙනා සම්පූර්ණ නිරුවතින් සයනය මත පද්මසානයෙන් හිඳ ඔවුනොවුන් දෙස බලාගෙන එහෙත් නෙත් පියාගෙන භාවනානුයෝගීව සිටියහ………..

……………..ඒ සමාධි සුවය විඳිමින් තවත් හොරා දෙකක් ඔවුහු පද්මාසනයෙන් සයනය මත නෙත් පියාගෙන සිටියහ………………

………………….අතීතයේ දවසක ඇබිත්ත කොලුවා බෝධි වෘක්ෂය අසලදී ලොකු හාමුදුරුවන්ගේ සිරුර අවකාශයේ පාවෙමින් තිබෙනු දුටු විදිහටම එවේලේ ඇබිත්ත උන්නාන්සේගේ සිරුර අවකාශයේ පාවෙමින් තිබුණේය….

(මාගම් සෝලිය, 137 වන පිටුව)

වර්තමානය වන විට අප බුදු දහම යැයි අදහන්නේ පවිත‍්‍ර, නිර්මල බුද්ධ දර්ශනයමදැයි සැකයක් පවතී. මූලික වශයෙන්ම බුද්ධ දර්ශනය මාහායානය හා හීනයානය වශයෙන් ආකෘති ද්විත්වයක් යටතේ වර්ග වී ඇති සේම තන්ත‍්‍රයානය නමින් තවත් එක් ආකාරයක් ද පවතින නමුත් එය ප‍්‍රකට කරුණක් නොවේ. මොහාන් සිය කෘති සඳහා තන්ත‍්‍රයානයේ එන ඇතැම් මූලධර්ම පදනම් කර ගන්නා අතර ඉහතින් නිදසුන් ලෙස දැක්වූ රමණයෙන් පසු සමාධි සුවයට පත්වීම ද එවැන්නකි. එනම් තන්ත‍්‍රයානයේ පැහැදිලි කරන්නේ අප කෙරෙන් යම් ආශාවක් ප‍්‍රහීන වීමට නම් එම ආශාවට ඉඩ දිය යුතුය යන්නයි. රබර් බෝලයක් වතුර යට තෙරපා තබාගෙන සිටින්නාක් මෙන් ආශාවන් මනස තුළ තෙරපා ගැනීමෙන් සිදු වන්නේ එම ආශාවන් යටපත් වීමට වඩා ඒවා කෙරෙහි තවතවත් ඇලීමයි. එම නිසා එම ආශාවට ඉඩ දී එහි ස්වභාවය අත්විඳ මැනවින් එය ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. තන්ත‍්‍රයානයේ එන්නා වූ මෙම අදහස් මොහාන් සිය නවකථාව ගොඩනැංවීමට යොදාගෙන තිබුණත් සමාජයේ බොහෝ දෙනා මෙවැන්නක් පිළිබඳ නොදන්නා නිසා ඔවුන් දන්නා බුදු දහමෙන් මෙම කාරණා විග‍්‍රහ කිරීමට උත්සාහ කරයි. එනිසාය චෝදනා නැඟිය හැකි වන්නේ ඔහු විසින් බුදු දහම විකෘති කිරීමට උත්සාහ දරා ඇති බවට.

තන්ත‍්‍රයානයේ එන මෙම විද්‍යාත්මක අදහස්වලට සමාන අදහස් ඉන්දියාවේ විසූ ඕෂෝ නම් දාර්ශනිකයා විසින් ද දක්වා ඇති බව පෙනේ. ඒ අනුව මොහාන් සිය කෘති තුළ ගොඩනඟන චරිත හා සිද්ධිවලට බෞද්ධ දර්ශනයේ එන තන්ත‍්‍රයානයේ අදහස් හා  ඕෂෝ නම් දාර්ශනිකයාගේ අදහස් ද පාදක කර ගෙන ඇති බව පෙනේ. ප‍්‍රීතියෙන් යුතුව ලිංගිකය පිළිගන්න. එහි ඇති දිව්‍යමය බව පිළිගන්න යනුවෙන් ලිංගිකත්වය පිළිබඳ ප‍්‍රකාශ කර ඇති අදහස අනුව ද ලිංගිකත්වයේ පූජනිය බව පැහැදිලි වේ. ඒ අනුව ස්වර්ණ පුස්තක නවකථා තේරීමේ දී  කුණුහරුපයක් ලෙස ප‍්‍රතික්ෂේප වූ මාගම් සෝලිය කිසිසේත්ම හුදු බොළඳ කටුක රසවින්දනයක් ලබා දෙන කුණුහරුපයක් නොවන බව ප‍්‍රකාශ කළ යුතුය.

කෙසේ වුවත් මොහාන් රාජ් සිය කෘති පිළිබඳ කවර අදහසක් දැරුවද පාඨකයාට එය පිළිගත යුතුම යැයි කියා පැවසිය නොහැකිය. මන්ද යත් කලා කෘති පිළිබඳ පශ්චාත් නූතනවාදී සංකල්පය වන කලා කෘතියක් ජනගත කළ පසු එහි කතුවරයා මියයනවා යන සංකල්පය මෙහිලා විශේෂයෙන් වැදගත් වේ. ඒ අනුව මොහාන් රාජ් සිය කෘති පිළිබඳ දක්වන මෙකී අදහස් ඔහුගේ කෘති කියවීම සඳහා භාවිත කළ හැකි එක් මානයක් පමණක්ම වන අතර ඒවා කර්තෘගේ අදහස් බැවින් ඒවා නිවැරදිම අදහස් වන බවට පිළිගැනීමට ද ඉක්මන් නොවිය යුතුය. එබැවින් ඔහුගේ කෘති  ඕනෑම මනසකින් විචාරයට ලක් කිරීමට හා ඒවා ඇගයීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති අතර කලා නිර්මාණයක් සමාජය තුළ මුල් බැසගැනීමේ  මූලධර්මය වන්නේ ද එයයි. එනිසා මොහාන් රාජ්ගේ අදහස් මත පදනම්ව මා විසින් ගොනු කළ මෙකී අදහස් ඔහුගේ කෘති පිළිබඳ ලියවුණු අවසානාත්මක අදහස් නොවන බව ද ප‍්‍රකාශ කළ යුතුය.

(2015 මාර්තු 26 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ දී මොහාන් රාජ් මඩවලගේ සහභාගිත්වයෙන් පැවති සංවාදයක් ඇසුරෙනි)

Comments

comments

3 comments

Please comment using your facebook account.