පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි විරෝධය සාධාරණද?

මෙරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම පදනම් කර ගනිමින් සමාජයේ විවිධ කණ්ඩායම් වෙතින් එල්ල වූ විරෝධය පසුගිය දිනවල ජන මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත් වී තිබුණි. එහි දී මාලඹේ SAITM ආයතනයට එරෙහිව සාම්ප්‍රදායිකව රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් වෙතින් එල්ල වන්නා වූ ප්‍රබල විරෝධයට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් SAITM සිසුන්ට තම සභාවේ ලියාපදිංචිය ලබා නොදෙන බව පැවසීම තුළ උද්ගත වූ තත්වයත් අවසානයේ ඒ සියලු අර්බුදවලට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳ කිසිම දෙයක් නොදන්නා අසරණ රෝගීන්ට වන්දි ගෙවීමට සිදුවීමත් තුළ මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ යම්කිසි කතිකාවතක් සමාජය තුළ නිර්මාණය විය. වර්ජන ක්‍රියාමාර්ගයක් තුළින් රෝගීන්ව ප්‍රාණ ඇපයට ගනිමින් කටයුතු කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධය තරමක් හෝ සමනය වූයේ ඔවුන් ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසු එය රජයට පවරා ගන්නා බවට ලැබුණු යම්කිසි බලාපොරොත්තුවක් සමඟය. එහෙත් මෙරටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අර්බුදය අවසන් වූ බව පැවසිය නොහැකිය. රජයේ සරසවිවල වෛද්‍ය සිසුන් අට්ටාල මත ගෙනයන ඔවුන්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාර තවම අවසන් නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම බවට පත් වී ඇත්තේ “SAITM අහෝසි කරනු” නැමැති පාඨය පමණි. ඔවුන්ගේ මෙම විරෝධය සාධාරණද? මෙම අර්බුදයට අසරණ රෝගීන්ට බිළිවීමට සිදුවීම යුක්ති සහගතද? මේ ඒ පිළිබඳව විමසා බැලීම සඳහා තබන ලද සටහනකි.

පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධය අප රටේ නිදහස් අධ්‍යාපනය තුළ විටින් විට පැන නඟින එහෙත් තවමත් ස්ථිර විසඳුමක් ලබා දීමට නොහැකි වී ඇති අර්බුදයකි. විශේෂයෙන්ම පෞද්ගලික උසස් අධ්‍යාපනය කිවූ සැනින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නැඟෙන විරෝධය හෝ ශිෂ්‍ය සංවිධාන විසින් ඊට එරෙහිව සිදු කරන සරසවි සිසු කුලප්පුවේ ද කිසිදු වෙනසක් අතීතයේ සිට මේ දක්වාම සිදු වී නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම වන්නේ රාජ්‍ය සරසවි පද්ධතියේ පහසුකම් වැඩි කරන ලෙස රජයට සිදු කරන බලපෑමයි. එහෙත් එම බලපෑමට සාපේක්ෂව පහසුකම් වැඩිවීමක්වත් රජයේ සරසවිවලට බඳවා ගන්නා ශිෂ්‍යයින්ගේ ප්‍රමාණයවත් මෙරටේ පවතින උසස් අධ්‍යාපන ඉල්ලුමට සාපේක්ෂව සාධාරණයක් ඉටුවන පරිදි වැඩි වී නොමැත. එනිසා උසස් පෙළ විභාගයෙන් පසුව උසස් අධ්‍යාපනය කරා යොමුවීමට අපේක්ෂා කරනු ලබන ශිෂ්‍යයින්ගේ ප්‍රමාණයත් ඔවුන්ට රාජ්‍ය සරසවි පද්ධතිය තුළින් සැපයිය හැකි අවම අවස්ථා ප්‍රමාණයත් අතර ඇතිවන අතිරික්තය සම්පූර්ණ කිරීම සඳහා පුද්ගලික උසස් අධ්‍යාපන අවස්ථා මෙරට තුළ ඇතිකිරීම කාලීන හා අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රමුඛ ශිෂ්‍ය සංවිධාන සහ ඔවුන්ට නායකත්වය සපයන දේශපාලන න්‍යායාචාර්යවරුත් ඔවුන්ගේ පදයට නටන රාජ්‍ය සරසවි ශිෂ්‍යයිනුත් අවබෝධ කර නොගන්නා සත්‍යය වන්නේ එයයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ඊනියා ශිෂ්‍ය සංවිධාන සහ ඔවුන්ගේ කීමට විචාර බුද්ධියකින් තොරව කටයුතු කරන සරසවි ශිෂ්‍යයින් විසින් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම තරයේ ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට රාජ්‍ය විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි කරන ලෙස සිදු කරන ඉල්ලීම ක්‍රියාත්මක කිරීම සඳහා ජනතාවට ගෙවීමට සිදුවන බදු ප්‍රමාණය වැඩි කිරීමට සිදුවන බව ඔවුන් වටහා නොගන්නා යථාර්ථය වේ. එනම් දැනටමත් මහජනතාවගේ බදු මුදල්වලින් පවත්වාගෙන යනු ලබන නිදහස් අධ්‍යාපන ක්‍රමයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීම යනු ඒ බර පෙරළා දැරිය යුත්තේ මහජනතාවම මිස රට කරවන පාලකයින් නොවේ. එනිසා පහසුකම් වැඩි කරමින් රටේ පවතින උසස් අධ්‍යාපන අවශ්‍යතාව සංතෘප්ත කිරීම රජයට පමණක් තනිව සිදු කළ හැකි කාර්යයක් නොවන අතරම ඒ සඳහා පෞද්ගලික අංශය දායක කර ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් වේ. එහි දී පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ විකල්පයට රටක් යොමු නොවන තාක් සිදුවන්නේ රාජ්‍ය සරසවිවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා ගන්නා සීමිත පිරිසක් විසින් ඔවුන්ගේ වෘත්තියට අදාළව ඒකාධිකාරියක් පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි.

ඊනියා ශිෂ්‍ය සංවිධාන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහි වීමේ විරෝධය හුදු පුස්සක් නැතහොත් ඔවුන්ගේ කුහකත්වය ප්‍රදර්ශනය කිරීමක් බව පෙන්වා දිය හැකි තවත් කරුණක් මෙහි දී ගෙනහැර දැක්විය හැකිය. එනම් මහජනතාවගේ බදු මුදල්වලින් යැපෙන රාජ්‍ය සරසවිවලින් නොමිලේ වෛද්‍ය උපාධිය ලබා ඉන්පසු ඔවුන් පෞද්ගලික රෝහල්වල සේවය කිරීමට එරෙහිව මෙම සිසු සංවිධාන හඬ නඟන්නේ නැත. එහෙත් විය යුත්තේ මෙරට අසරණ ජනයාගේ බදු මුදල්වලින් නොමිලේ ලද අධ්‍යාපනයට යුතුකම් ඉටු කිරීම පිණිස රජයේ රෝහල්වලට පැමිණෙන මෙරට දුප්පත් රෝගීන්ට සේවය කිරීමයි. එසේ නොමැතිව ඉහළ වැටුපකට මෙරට පෞද්ගලික රෝහල්වල සේවය කිරීම හෝ විදේශ රටවල සේවය සඳහා යොමුවීම යුක්ති සහගත ද යන්න විමසිය යුතුය. මන්ද යත් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරන තෙක් ඒ සඳහා වැයවන වියදම් ගෙවීමට මෙරට කම්කරුවාගෙන් පවා ලබා ගන්නා බදු මුදල් වියදම් කර ඇති බැවිනි. එනම් ඉහළ මුදලක් ගෙවා පෞද්ගලික රෝහල් වෙත යොමුවන සුළුතරයට සේවය කිරීම සාධාරණ ද නැතහොත් රටේ බදු ගෙවන ජනතාවගෙන් බහුතරයක් වන දුප්පත් හා අසරණ රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රජයේ රෝහල්වල සේවය කිරීම සාධාරණ නොවන්නේ ද යන්න වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු ඔවුන් වෙනුවෙන් හඬ නඟන ඊනියා සිසු සංවිධානවල නායකයින් තම හෘද සාක්ෂියෙන් විමසිය යුතුය. එනිසා නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබා පෞද්ගලික රෝහල්වල සේවයට යොමුවීම පිළිබඳ මුනිවත රැක පෞද්ගලික සරසවිවලට එරෙහිව හඬ නැඟීම පදනම් රහිත ක්‍රියාවක් මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක් වන බව ද පැවසිය හැකිය.

මෙහි දී පුද්ගලික රෝහල්වල සේවය සඳහා යොමුවීමට එරෙහි නොවන්නේ එමඟින් ලැබෙන ඉහළ වැටුපට සහ වෙනත් වරප්‍රසාදවලට ඇති කෑදරකම නිසා බව විශේෂයෙන් කිව යුතු නැත. අසරණ රෝගීන්ගේ ජීවිත උකසට තබා වර්ජන සිදු කරමින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුළින් වෛද්‍ය වෘත්තිකයන් බිහිවීමට එරෙහි වන්නේ ඔවුන්ගේ ඒකාධිකාරිය පවත්වාගෙන යාමට බව පැහැදිලිය. ඒ සඳහා වෛද්‍ය සිසුන් ඇතුළු අනෙකුත් සරසවි සිසුන් හඬ නැඟීම යනු සැබවින්ම අසරණ මහජනතාව පිළිබඳ අනුකම්පාව දැක්වීමක් ද නැතහොත් හුදු ආත්මාර්ථය පිණිස කිඹුල් කඳුළු හෙලීමක් ද යන්න අවබෝධ කර ගැනීම අපහසු නොවේ.

මෙහි දී මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව ඉදිරිපත් වී ඇති චෝදනා සම්බන්ධව ද අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ අනුව මාලඹේ වෛද්‍ය සිසුන්ට ක්‍රමවත් සායනික පුහුණුවක් ලබා දීම සඳහා ක්‍රමවේදයක් නොමැති බව සඳහන් කිරීම එල්ලවන ප්‍රධානතම චෝදනාවයි. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භයේ දී එම සායනික පුහුණුව රුසියාවේ දී ලබා දෙන බව ප්‍රකාශ වීමත් ඉන් අනතුරුව මෙරට පෞද්ගලික රෝහල් දෙකක දී එය ලබා දෙන බවට ප්‍රකාශ වීමත් ඉන් පසුව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශික්ෂණ රෝහලක් ඉදිවීමත් සිදුවිය. එහෙත් මෙම වෛද්‍ය විද්‍යාලය රුසියාවේ ආයතනයක් සමඟ සම්බන්ධ බවට මුලින් සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව ඔප්පු වීමත් මෙරට පෞද්ගලික රෝහල් දෙකක දී සායනික පුහුණුව ලබා දීමට කටයුතු කිරීම පිළිබඳවත් ප්‍රශ්නගත වීම තුළ ඊට අනුබද්ධව ඉදිකළ බව පැවසෙන පෞද්ගලික රෝහල තුළින් මෙම සායනික පුහුණුව සඳහා සිසුන් යොමු කරන බවට ප්‍රකාශ වුවත් එම රෝහල තුළ ක්‍රමවත් සායනික පුහුණුවක් සඳහා අවශ්‍ය පහසුකම් නොමැති බවට චෝදනා එල්ලවීම සහ පුළුල් පරාසයක රෝග සම්බන්ධව සායනික පුහුණුව ලබා ගැනීමට අවශ්‍ය රෝගීන් එම පෞද්ගලික ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නොපැමිණෙන බවට ද කරුණු ඉදිරිපත් වන්නට විය. එහෙත් රජයේ රෝහල් තුළ ඔවුන්ට අවශ්‍ය සායනික පහසුකම් ලබා ගැනීමට ඕනෑ තරම් අවකාශය ඇතත් ඒ සඳහා ද විරෝධය දැක්වීමට කටයුතු කිරීම මඟින් පෞද්ගලික වෛද්‍ය සිසුන්ට විධිමත් සායනික පුහුණුව ලබා ගැනීමට ඇති එකම අවස්ථාව අහිමි කිරීමත් එනිසා ඔවුන්ගේ වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි බවට පෙරළා ප්‍රකාශ කිරීමට කටයුතු කිරීමත් කුහකත්වය නොවේ නම් අන් කවරක් ද යන්න යළි යළිත් ප්‍රශ්න නැඟිය යුතුය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ප්‍රමිතිගතව ක්‍රියාත්මක වන බව සහ එයට එරෙහි නොවිය යුතුය යන්න මෙහි ලියුම්කරු විසින් සාමාජගත කිරීමට උත්සාහ දරණ බවට ඇතැමෙක් ප්‍රකාශ කරනු ලබන්නේ නම් එම ප්‍රකාශය නිවැරදි නොවන බවද මෙහි දී අවධාරණය කළ යුතුය. එනම් මෙම ලිපිය තුළින් කරුණු ගෙනහැර දක්වන්නේ කිසිසේත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය අනුමත කළ යුතු බව ප්‍රකාශ කිරීම සඳහා නොවේ. එනම් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව ප්‍රශ්න රැසක් මතුවන බව ප්‍රකාශ කළ යුතුය. එහෙත් මෙහි දී මා විසින් ගොඩනැඟීමට උත්සාහ කරනු ලබන තර්කය වන්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දඩමීමා කරගෙන හෝ සම්ප්‍රදායිකව පෞද්ගලික විශ්වවිද්‍යාල කෙරෙහි එල්ල වන ප්‍රතිවිරෝධය පදනම් කරගනිමින් මෙරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට විරුද්ධව ක්‍රියා කිරීම යල්පැන ගිය හණමිටි අදහසක් වන බවයි. එනම් රාජ්‍ය සරසවිවලට ඇතුළත් වීමට නොහැකි වන හා ඉතාම සුළු ලකුණු සංඛ්‍යාවකින් වෛද්‍ය සිහිනය මඟ හැරෙන පිරිසට මෙරටේ දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මඟින් වෛද්‍ය උපාධි ලබා ගැනීමට අවස්ථාව ලබා දීම වරදක් වන්නේ කෙසේ ද යන්න මෙම ලිපිය තුළින් යළි යළිත් ඉස්මතු කිරීමට උත්සාහ දරණ තර්කය වේ. එහි දී එය කිසිසේත්ම උසස් පෙළ විභාගයේ දී කලා විෂය ධාරාවෙන් පෙනී සිටි හෝ අවම සුදුසුකම් සහිතව උසස් පෙළ සමත් වූ පිරිසකට වෛද්‍ය උපාධි ලබා ගැනීමේ අවස්ථාව මුදලට ලබා දීමේ ක්‍රියාදාමයක් නොවිය යුතු අතරම රජයේ සාධාරණ මැදිහත්වීමක් මඟින් එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අධීක්ෂණයට ද ලක් කළ යුතුය. එසේ නොමැතිව ව්‍යාපාරිකයින්ට හිතුමතේ කිසිදු ප්‍රමිතියකින් තොරව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට අවස්ථා ලබා දීමට එරෙහි වීම සාධාරණ වන අතර එසේ නොවී උසස්පෙළ විභාගය ඉහළින් සමත්ව රජයේ වෛද්‍ය විද්‍යාලය මඟ හැරෙන පිරිසකගේ අනාගතය අඳුරු කිරීමට කටයුතු කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු කිසිදු ඊනියා ශිෂ්‍ය සංවිධානයකට හෝ කිසිදු වෘත්තීය සංගමයකට අයිතියක් නොමැති බව ද මෙහි දී අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතුය.

(මේ සම්බන්ධව දීර්ඝව කරුණු සඳහන් කරමින් මා විසින් ලියන ලද ලිපියක් අද දෙරණ වෙබ් අඩවියේ පළවූ අතර ඒ සඳහා http://sinhala.adaderana.lk/news.php?nid=62280 සබැඳියෙන් පිවිසිය හැකිය.)

Comments

comments