2016/09/13 දින අද පුවත්පතේ පළවූ සාකච්ඡාව

ada_article2

1) මේ වගේ පොතක් ලියන්න හිතුවේ ඇයි?
මගේ අර්ථදැක්වීම අනුව අද අප ගත කරමින් සිටින්නේ තොරතුරු යුගයේ තෘතීයික අවධියයි. එනම් සියලු ජනමාධ්‍යයන් ඒකරාශීකරණය වී අපව හසුරවමින් ඉන්නා යුගය තුළයි. එහෙත් මෙම යුගය තවමත් කිසිදු විෂය පථයක් ඔස්සේ ගැඹුරු න්‍යායාත්මක ප‍්‍රවේශයකට ලක් නොවී ඇති ක්ෂේත‍්‍රයක්. එබැවින් මෙම තොරතුරු යුගය සංකල්පීකරණයට ලක් කිරීමත් එම යුගයට සමාන්තරව ලෝකය තුළ නිර්මාණය වූ හා වර්ධනය වූ සංස්කෘතික ගතිකයන් සංකල්ප ගත කිරීමත් කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. එම අරමුණ අනුව තමා මෙම කෘතිය රචනා වෙන්නෙ.

 

2) නව මාධ්‍ය ගැන පොතක් නිකුත් කිරීම කොතරම් උචිත ද?
වර්තමානය තුළ දී නව මාධ්‍ය තරම් අපේ ජීවිතවලට වඩාත් සමීප වෙනත් මාධ්‍ය ප්‍රවර්ගයක් නැහැ. විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය සහ ජංගම දුරකථන ඔස්සේ නව මාධ්‍ය ඉතා සියුම් අන්දමින් අපේ ජීවිත පාලනය කරමින් ඉන්නවා. ඒ නිසා නව මාධ්‍ය ගැන පොතක් රචනා කිරීම කියන්නෙ එක අතකින් අපේ මේ වර්තමාන චර්යාවන් පිළිබඳ සිදුකරන කියවීමක්. එය තවත් අතකින් වර්තමානයේ බොහෝ සමාජ අර්බුදවලට බලපාන ලද සාධක පිළිබද සොයා බැලීමක් වන නිසා මෙහි උචිතභාවය පිළිබද තවත් අටුවා ටීකා ඕනෙ නැහැ.

 

3) මොන වගේ සීමාවන් ඔස්සේද මෙහි පර්යේෂණ කටයුතු සිදුවුණේ?
මෙම කෘතිය තුළ සයිබර් භාෂාව, සයිබර් සාහිත්‍යය, සයිබර් ලිංගික සංස්කෘතිය හා සයිබර් විප්ලව ආදී ක්ෂේත්‍ර පිළිබඳව පර්යේෂණයට ලක්කර කරුණු ඇතුළත් කර තිබෙනවා. එසේම සයිබර් අපරාධ පිළිබඳ න්‍යායාත්මකව පැහැදිලි කරමින්  සයිබර් අපරාධවලට අදාළ දේශීය නීතිමය යාන්ත‍්‍රණය සම්බන්ධව ද මෙම කෘතිය තුළ පුළුල් විග්‍රහයක් සිදු කරනවා. විශේෂයෙන්ම මාක්ස්වාදයේ න්‍යායන් භාවිත කරමින් මාක්ස්වාදය තුළ ප‍්‍රමුඛ අවධානයක් යොමු කරන පරාරෝපණ සංකල්පයේ දිගුවක් වශයෙන් තොරතුරු කෙරෙහි වන පරාරෝපණය හෙවත් විඥාපන පරාරෝපණය (Information Alienation) ලෙස නව න්‍යායාත්මක සංකල්පයක් හඳුන්වා දීමට ද මෙම ග‍්‍රන්ථය ඔස්සේ මා විසින් උත්සාහ දරනවා.

 

4) මෙහි අධ්‍යනයයේදී මුහුණදෙන්නට සිදුවුණු අභියෝග මොනවද ?
මෙම කෘතිය තුළ 95% කට වඩා අන්තර්ගත වන්නේ මා විසින්ම ගොඩනඟනු ලැබූ සංකල්ප සහ න්‍යායන්. එසේම ඒවා පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති රූප සටහන් ද මා විසින්ම නිර්මාණය කරන ලද ඒවා. ඒ නිසා මෙම කෘතිය රචනා කිරීම සඳහා සිදුකළ සෑම අධ්‍යයනය කිරීමක් තුළම නව න්‍යායක් සමාජගත කිරීම සඳහා මා තුළ පැවති අවශ්‍යතාව මා විසින්ම අභියෝගයක් ලෙස සලකා කටයුතු කිරීම මඟින් නව සංකල්ප සහිත මෙවැනි කෘතියක් සමාජගත කිරීමට හැකිවූ බව මා විශ්වාස කරනවා.

 

5) ඉදිරි බලාපොරොත්තු?
මෙම කෘතිය තුළින් ලබාගත් සාර්ථක ආරම්භයත් එක්ක සරසවි අධ්‍යාපනය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව ජනමාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරන අතරතුර ඉදිරියටත් ග්‍රන්ථ රචනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මගේ දෙවන ග්‍රන්ථය ලෙස ජනගත කිරීමට බලාපොරොත්තු වන්නේ ශිලාලිපි සන්නිවේදනය හා බැඳුණු ශිලාලිපි තුළ අන්තර්ගත සංඥාර්ථ පිළිබඳ සිදුකරනු ලබන පුළුල් පර්යේෂණයක් ඇසුරෙන් රචනා කරන ලද ග්‍රන්ථයක්. එම ග්‍රන්ථය ලබන වසරේ දී එළිදැක්වීමට බලාපොරොත්තු වෙනවා.

 

Comments

comments