2016/09/14 දින ශ්‍රී පාලි මණ්ඩපයේ ඉ-පුවත්පතේ පළවූ ලිපිය

“සමාජ මාධ්‍ය සංස්කෘතිය” ග‍්‍රන්තය දොරට වැඩි වගයි…”

“සයිබර් සාහිත්‍ය යනු හුදෙක් තාක්‍ෂණික විප්ලවයක් පමණක් ම නොවන අතර එය මානව ඉතිහාසයේ නිර්මාණාත්මක නිම් වළලූ පුළුල් කළ සුවිශේෂිතම අවස්ථාවක් හා ප‍්‍රධාන ම කි‍්‍රයාවලිය ද වේ.”
-සුරෝෂන ඉරංග-

තැන් තැන්හි රැදුනු පොත් ගුලු ඔප වැටෙන, දැනුම සොයා යන රසවතුන්ගේ හදවත් කුල්මත් කරවන සාහිත්‍යය මාසයක ආරම්භය සනිටුහන් වන අතරවාරයක කොළඹ විශ්ව විද්‍යාලීය ශ‍්‍රී පාලි මණ්ඩපයට තවත් සුවිශේෂි දිනයක් උදා කරමින් ශ‍්‍රී පාලී මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ අධ්‍යන කටයුතු හදාරන සිව්වන වසර විද්‍යාර්ථයෙකු වන සුරෝෂන ඉරංග විසින් රචනා කරන ලද ”සමාජ මාධ්‍ය සංස්කෘතිය” නැමති ග‍්‍රන්ථය 2016 සැප්තැම්බර් 13 දින පස්වරු තුනේ හෝරාවෙන් දොරට වැඞීමේ මංගල්‍යය ශ‍්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වී ය. මේ සඳහා කොළඹ විශ්ව විද්‍යාලීය ශ‍්‍රී පාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්යය රන්ජන් හෙට්ටිආරච්චි මහතා සහ හිටපු මණ්ඩපාධිපති ආචාර්යය ටියුඩර් වීරසිංහ මහතා ඇතුළු ආචාර්යය මණ්ඩලය ද දේශමාන්‍ය සිරිසුමන ගොඩගේ මහතා, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යය එම්.ජේ.ආර්.ඩේවිඩ් මහතා, ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදී ශ‍්‍රී පාලී මණ්ඩපයේ බාහිර කථිකාචාර්යය දර්ශන අශෝක මහතා යන ආරාධිත අමුත්තන්ගේ සහ ශ‍්‍රී පාලි මණ්ඩපයේ සිව්වසරක සහෝදරත්වයේ සහභාගීත්වය ද මෙහි දී දක්නට ලැබිණි.

ඔබ සමාජ ජාලයේ ඒ මේ අත නොහමු වූ මිතුරන් සොයා සැරිසරද්දී ඔහු එය ගවේෂණය කළේ ය. ඔබ සමාජ ජාලයේ නිර්මාණාත්මක බවට නොදැනීම වහල් වෙද්දී ඔහු එහි සමාජීය සහ විද්‍යානූකූල මෙන් ම මනෝමූලික පදනම සොයා ගියේ ය. ඔබ සමාජ ජාලය තුළ තනිව අතරමං වෙද්දී ඔහු එය ලොවට විවර කළේ ය. ගෝලීය වශයෙන් සමාජ මාධ්‍ය සංස්කෘතිය පිලිබඳ විවිධ දෘෂ්ටීන් ඔස්සේ කතිකාවක් ගොඩනැගී ඇති නමුදු එය ලංකාව වැනි තුන්වන ලෝකයේ රටකට එය නවමු වූ අත්දැකීමකි. සුරෝෂන ඉරංගයන් විසින් රචිත මෙම කෘතිය හුදු රචනාවක් නොව එය සයිබර් අවකාශය පිළිබඳ ඔහු ගවේෂණාත්මක කළ විවරණයක් වන්නේ එබැවිනි. සයිබර් අවකාශය තුළ ගොඩනැගී ඇති සංස්කෘතිය න්‍යායාත්මක සහ සංකල්පීය පදනමක් ඔස්සේ ඉතා උසස් ලෙස විවරණය කරමින් රචනා කරන්නට ඔහු සමත් වී ඇත . එසේ ම සයිබර් සාහිත්‍ය, සයිබර් ලිංගික සංස්කෘතිය, සයිබර් විප්ලවය, සයිබර් අපරාධවලට අදාළ නෛතිකමය යාන්ත‍්‍රණය සහ සයිබර් ජනමාධ්‍යවේදය යනා දී සුවිශේෂි වූූ නව සංකල්ප කිහිපයක් මෙම ග‍්‍රන්තය හරහා හඳුන්වා දෙමින් සමාජ ජාලකරණය පිළිබඳ පුළුල් ලෙස විග‍්‍රහ කිරීමට විශිෂ්ට උත්සහයක් දරා ඇත. ආරාධිත දේශකයන්ගේ දේශනයන් තුළ පවා මෙම කෘතිය තුළ ඇති බහුවිෂයික බව ඇගයුනු අතර අන්තර් විශ්ව විද්‍යාලීය පුස්තකාලයන් සඳහා සුරෝෂන ඉරංගයන් විසින් රචිත “සමාජ මාධ්‍ය සංස්කෘතිය” නම් මෙම කෘතිය බෙදා දීම සංකේතවත් කරමින් ශ‍්‍රී පාලී මණ්ඩපයේ පුස්තකාලාධිපති වත්සලා අතුකෝරාළ මහත්මිය වෙත ග‍්‍රන්තය ලබා දීම ද මෙම අවස්ථාවේ සිදු කෙරිණි.

මෙම ග‍්‍රන්තය එළි දැක්වීම සඳහා ගොඩගේ ප‍්‍රකාශන ආයතනය විශාල සහයෝගයක් සැපයූ අතර දෙරණ මාධ්‍ය ආයතනය විසින් දැක් වූ මාධ්‍ය සහය ද සුවිශේෂි විය . එමෙන් ම මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතාගේ සුභාශීර්ෂණ පණිවිඩයක් ද එම අවස්ථාවට එක්කර තිබිණි. කෙසේ නමුදු කාලීන වශයෙන් මෙන්ම විෂයික වශයෙන් ඉතා වැදගත් වන්නා වූ මෙවන් පර්යේෂණාත්මක ග‍්‍රන්තයක් විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථයෙකු අතින් නිමවීම සුරෝෂන ඉරංග නම් වූ කතුවරයා පිළිබඳවත් වියැකෙමින් පවතින ගවේෂණශීලී ලේඛන පරපුර පිලිබඳවත් නව බලාපොරොත්තු දල්වා තබා ගත හැකි සුවිශිෂ්ට පියවරක් ලෙස මෙම කර්තව්‍ය ඇගයීය යුතුම ය.

සටහන – ශ්‍යාමලී දේවිකා රුබසිංහ

Comments

comments