2016/11/16 දින දිනමිණ පුවත්පතේ පළවූ සාකච්ඡාව

dinamina_article

1. ඔබේ වයසේ පසුවන බොහෝ දෙනෙක් කවි, කෙටිකතා, නවකතා ආදී සාහිත්‍යාංග රැල්ලට සීමා වෙද්දී ඔබ වෙනත් ප්‍රවේශයකට අවතීර්ණ වෙනවා ඇයි ඒ?
විශේෂයෙන්ම තොරතුරු යුගය සංකල්පීකරණයට ලක් කිරීමත් එම යුගයට සමාන්තරව ලෝකය තුළ නිර්මාණය වූ හා වර්ධනය වූ සංස්කෘතික ගතිකයන් සංකල්ප ගත කිරීමත් එක් අතකින් කාලීන අවශ්‍යතාවක්. මක්නිසාද යත් ව්‍යුහාත්මකව සලකන කල පශ්චාත් නූතන සමාජ සන්දර්භය තුළ මානව ජීවිත දරා ගෙන සිටින්නේ මෙම සංස්කෘතික ගතිකයන් විසින් වන නිසා. එබැවින් තොරතුරු යුගය හා සමකාලීන අන්තර්ජාල සමාජ ජාලකරණය ඔස්සේ බිහි වූ නව සංස්කෘතික පැතිකඩ ව්‍යුත්පන්න කරමින් ඒවා න්‍යායාත්මකව සමාජගත කිරීමට දැරූ උත්සාහයක් ලෙස මාගේ මෙම ප්‍රවේශය හඳුන්වා දිය හැකියි.

2. ලංකාවේ මෙතෙක් ශාස්ත්‍රීයව පුලුල් අධ්‍යනයකට ලක් නොකළ ඉසව්වක ඔබ ඉතාමත් සූරලෙස පියාසර කරනවා. මේ සඳහා කොහෙන්ද ඔබට අත්තටු ලැබුණේ?

පාසල් අධ්‍යාපනය ලබන අවධියේ සිටම මා පරිගණක සහ අන්තර්ජාල ක්ෂේත්‍රයට ගොඩක් ඇළුම් කළා. මට මුලින්ම පරිගණකයක් භාවිතා කරන්න අවස්ථාව ලැබෙන්නෙ පාසලේ හය ශ්‍රේණියේ ඉගෙනුම ලබද්දි. ඉන් අවුරුදු තුනකට පස්සෙ මට අන්තර්ජාලය භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. මෙහෙම භාවිතා කරද්දි මට උනන්දුවක් ඇති වෙනවා අන්තර්ජාලය නිර්මාණය වෙලා තියෙන්නෙ කොහොමද කියලා හොයන්න. ඒ උනන්දුව නිසා මං ඒ ගැන ස්වයං අධ්‍යයනයට යොමු වෙනවා. අන්තර්ජාලයේ වෙබ් පිටු නිර්මාණය කරන්න පුළුවන් ක්‍රම මං ඒ ඔස්සේ හදාරනවා. විශේෂයෙන්ම ඒ සඳහා භාවිතා කරන පරිගණක භාෂා, වෙබ් අඩවි සඳහා ඡායාරූප සංස්කරණය කිරීමේ ක්‍රම වගේම අන්තර්ජාලය තාක්ෂණික මෙවලමක් ලෙස භාවිතා කිරීම පිණිස උපකාරී වන තාක්ෂණික භාවිතයන් ගැනත් මං අධ්‍යයනය කරනවා.

මෙහෙම ලබපු අවබෝධය සමඟ මං අන්තර්ජාලය පුළුල් අන්දමින් භාවිතා කිරීමට යොමු වෙනවා. ඒ අනුව බ්ලොග් අඩවි නිර්මාණය කිරීම හා පවත්වාගෙන යෑම, සමාජ ජාල වෙබ් අඩවි තුළ සිදුවන මානව ක්‍රියාකාරකම්, සංවාද සේවා භාවිතා කිරීම ආදිය තුළින් වසර දහයකට වඩා වැඩි කාලයක් අන්තර්ජාලය සම්බන්ධයෙන් මම ලැබූ පරිචය සරසවි අධ්‍යාපනයට මා පිවිසුණු පසු මා විසින් අධ්‍යයනය කරනු ලබන ජනමාධ්‍යවේදය විෂය සමඟ මිශ්‍ර කරලා නව ශාස්ත්‍රීය ප්‍රවේශයක් ලෙස සමාජ ගත කිරීමට මට අවස්ථාව ලැබෙනවා.

3. සමාජ මාධ්‍ය සංස්කෘතිය කියන විෂය ක්ෂේත්‍රය ඉතාම පුලුල් විවෘත්ත අවකාශක් ඔබ මොන පදනමක සිටද එය සංකල්පීයකරණය කරන්නේ?
විශේෂයෙන්ම සමකාලීන ගෝලීය සංස්කෘතිය තුළ බිහි වූ නව ප‍්‍රවණතා ගණනාවක් පිළිබඳව මෙම කෘතිය තුළින් මා සාකච්ඡාවට බඳුන් කරනවා. සයිබර් භාෂාව, සයිබර් සාහිත්‍යය, සයිබර් ලිංගික සංස්කෘතිය, සයිබර් විප්ලව මෙන්ම සයිබර් අපරාධවලට අදාළ දේශීය නීතිමය යාන්ත‍්‍රණය ද අධ්‍යයනයට ලක් කර ඒවා පිළිබඳව නව න්‍යායන් හඳුන්වා දෙමින් ඒවාට අදාළව බහු විෂයාත්මක ප‍්‍රවේශයක් ගොඩනැඟීමට මෙම කෘතිය තුළින් මම උත්සාහ දරා ඇති බව කිව යුතුයි.

4. විවෘත්ත ස්වභාවයක පවතින දෙයක් සංකල්පගත කිරීම මඟින් එහි ස්වභාවය අහෝසි වෙනවා නේද? නැතිනම් එය කිසියම් ආකාරයක රාමුවකට වැටෙනවා නේද?
ඔබේ අදහසට මම අර්ධ වශයෙන් එකඟයි. ඒත් විවෘත දෙයක් සංකල්ප ගත කිරීමේ දී එය කිසියම් ආකාරයක රාමු ගත කිරීමක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. එය මග හැරිය නොහැකි තත්ත්වයක්. මොකද සංකල්පයක් තුළින් සමස්තයේ යම් කිසි නියෝජනයක් පමණයි නිරූපණය කළ හැකි වන්නේ.

5. පශ්චාත් නූතන යුගය තුළ මානව සංස්කෘතියේ ගමක බලවේගය බවට පත්ව ඇත්තේ තොරතුරු තාක්ෂණයයි. ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත්?
අද වන විට සමස්ත මානව සංස්කෘතිය මෙහෙය වීමේ මූලික සාධකය බවට තොරතුරු තාක්ෂණය පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ට්‍රාන්සිස්ටරය සොයා ගැනීමෙන් උත්කර්ෂයට නැංවුණු ඩිජිටල් තාක්ෂණයේ අනුහසින් බිහිවුණු නූතන පරිගණක තාක්ෂණයට 20 වන සියවසේ මැද භාගයේ දී අන්තර්ජාලයේ ආගමනය සිදුවෙනවා. ඉන් පසු ලෝකයේ හැම තැනක්ම මේ ක්‍රමයට ජාල ගත වෙනවා. මේ ඩිජිටල් තාක්ෂණයට එකතු වුණ ජංගම දුරකථන සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පශ්චාත් නූතන මානව සමාජය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

6. සයිබර් අවකාශය තුළ ඇති විවෘත්ත ස්වභාවය නිසා ඕන කෙනෙක්ට ඕන දෙයක් වාරණයකින් තොරව ඉදිරිපත් කළ හැකියි. මේ අවකාශය ගැන ඔබ මොකද හිතන්නේ.
ඒක ඉතාම යහපත් තත්ත්වයක්. ඒත් මෙම නිදහස් අවකාශය භාවිත කරලා වැරදි තොරතුරු තොරතුරු සමාජ ගත කිරීමට කටයුතු කරනවා නම් ඒක නොවිය යුතුයි. ඒ වගේම අතිශය පටු පරමාර්ථ සහිතව සිදු කරන මඩ ගැසීම් හා අපහාස කිරීම් සඳහා ද මෙම අවකාශය භාවිත නොකළ යුතුයි. ඒත් එවැනි දේවල් බහුලව සිදුවෙමින් පවතිනවා. එසේම මෙම අවකාශය තුළින් සමාජ ගත කරන ඇතැම් තොරතුරුවල වගකීම්සහගතභාවය පිළිබඳව ද බොහෝ ප්‍රශ්න පැන නැගිලා තියෙනවා.

7. යම් යම් වෙබ් අඩවි හරහා තොරතුරු විවිධාකාරයෙන් ඒක රාශී වෙනවා. මේවායේ සත්‍ය අසත්‍යතාවයපවා සැකසහිතයි. එවැනි තත්වයක් තුළ අප ලබාගන්නා තොරතුරුවල නිරවද්‍යභාවය අහොසි වෙනවා නේද?
ඔව් අනිවර්යයෙන්ම. දෛනිකව අන්තර්ජාලයට බොහොමයක් වැරදි තොරතුරු ඇතුළත් වෙනවා. මේ ‍තොරතුරු භාවිතයට ගැනීමත් සමඟ වැරදි අදහස් සමාජ ගත වෙනවා. ඒ තත්ත්වය අන්තර්ජාලය ඔස්සේ නිර්මාණය වෙලා තියෙන අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. ඒ නිසා තොරතුරු ලබා ගැනීමේ දී සැම විටම විශ්වාසවන්ත වෙබ් අඩවි පමණක් භාවිතා කළ යුතුයි.

8. ඒ වගේම ඒ විදියට ඒක රාශි වන තොරතුරු තොරතුරු එකතු කරන්නාගේ දැනුමට සාපේක්ෂයි නේද?

ඔව්. ඒ ගැටලුවත් පැන නගිනවා. ඒ නිසා අන්තර්ජාලය තුළින් අප ලබා ගන්නා තොරතුරු තවත් මූලාශ්‍ර දෙකක් හෝ කිහිපයක් තුළින් තහවුරු කර ගත යුතුයි.

9. මේ සයිබර් අවකාශය මගින් ගෝලීය වශයෙන් බලය කේන්ද්‍රගත වීමක් සිදුවෙනවා නේද?

ඔව් එසේ සිදු වෙනවා. මේ තත්ත්වය නිදසුනකින් පෙන්වා දෙනවා නම් සයිබර් අවකාශය මෙහෙය වීමේ මූලයන් සියල්ලම පාහේ ඇමරිකාව මත පදනම් වී ගොඩ නැගී ඇති නිසා සයිබර් අවකාශය මගින් ගෝලීය වශයෙන් බලය ඇමරිකාවට කේන්ද්‍රගත වීමක් සිදුවී ඇති බව ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගූගල් හා ෆේස්බුක් වැනි අන්තර්ජාලය පදනම් කර ගත් දැවැන්ත සමාගම් ඔස්සේ ගෝලීය වශයෙන් විශාල බලයක් කේන්ද්‍රගත වීම සිදුවෙලා තියෙනවා.

10. සයිබර් ලිංගික සංස්කෘතිය ඉතාමත් ආන්දෝලනාත්මක මාතෘකාවක්. ඔබ එය මැනවින් අධ්‍යයනය කර තිබෙනවා.ඒ පිළිබඳව ඔබව යොමු කළ විශේෂ හේතුවක් තිබෙනවද?

සයිබර් ලිංගික සංස්කෘතිය අද්‍යතනය වන විට මානව සමාජයේ උප සංස්කෘතියක් විදිහට වර්ධනය වෙලා තියෙනවා. ඒ උපසංස්කාතිය මඟින් මහා සංස්කෘතිය දැවැන්ත විදිහට පාලනය කරමින් ඉන්නවා. ඒ නිසා අන්තර්ජාලය පිළිබඳ ග්‍රන්ථයක් රචනා කිරීමේ දී මෙම සාධකය කිසිසේත් නොසලකා හරින්න බැහැ. විශේෂයෙන්ම අන්තර්ජාලය ඇසුරෙන් ගොඩ නැගී ඇති ලිංගික සංස්කෘතිය මානව සිතුම් පැතුම් කෙරෙහි විශාල බලපෑමක් කරනවා. එහෙත් එය තවමත් කිසිදු සිංහල මාධ්‍ය ග්‍රන්ථයක් මඟින් අවධානයට ලක් කරලා නැහැ. ඒ නිසා මගේ මෙම කාතිය තුළදී ඒ සම්බන්ධව සුවිශේෂී අවධානයක් මා විසින් යොමු කරනු ලැබුවා.

11. සයිබර් විප්ලවය කියන මාතෘකාව ඔස්සේ ඔබ ගෝලීය දේශපාලන ව්‍යූහය පිළිබඳව කිසියම් කියවීමක් කරනවා. නමුත් අපේ රටේ දේදුණු වසන්තය කියන්නේ අහඹුවක් නෙවෙයිද? ඊට බලපෑම් කළේ සයිබර් අවකාශයමද?
ඔබ වගේම බොහෝ දෙනෙක් පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සිදුවූ මෙම දේදුනු වසන්තය කියන සිදුවීම පිළිබඳ ප්‍රශ්න කරනවා. ඒත් මට පැහැදිලිවම කියන්න පුළුවන් න්‍යායාත්මකව පමණක් නෙවෙයි ප්‍රායෝගිකවත් එවැනි සිදුවීමක් සිදුවූ බව. මොකද මේ සම්බන්ධව විශ්වවිද්‍යාලවලින් පර්යේෂණ පවා සිදු කරලා තියෙනවා. මෙහිදී ඔබ ප්‍රශ්න කරන කාරණය තමා ඒක අහඹුවක් ද කියන එක. මගේ අදහස අනුව නම් ඒක අහඹුවක් නෙවේ. ඒක පැහැදිලිවම සැලසුම් සහගතව කරපු දෙයක්.

ඒ වගේම අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් ඒ සඳහා බලපෑම් කළේ සයිබර් අවකාශය කියන කාරණයත්. මොකද මේ සඳහා සයිබර් අවකාශය යොදා ගන්න බැරි වුණා නම් දේදුනු වසන්තයක් වෙන්න කොහෙත්ම ඉඩක් නැහැ. ඒකට හේතුව තමා සයිබර් අවකාශය හරහා සමාජ ගත කළ තොරතුරු වෙනත් කිසිම ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් හරහා සමාජ ගත කිරීමට අවස්ථාවක් නොලැබීම.

12. ඔබ මේ කෘතිය හරහා මාක්ස්වාදී දර්ශනයේ පෙනෙන පරාරෝපණය කියන න්‍යායාත්මක සංකල්පය ‘විඥාපන පරාරෝපණය’ ලෙස න්‍යායත්මක සංකල්පීයකරණයකට ලක් කරනවා.සරලව ඒ පිළිබඳව සඳහන් කළොත්
කාල් මාක්ස් නම් සුප්‍රකට දාර්ශනිකයා විසින් ඉදිරිපත් කළ මාක්ස්වාදයේ අන්තර්ගත වන එක් මූලික සංකල්පයක් විදිහට පරාරෝපණය කියන සංකල්පය පෙන්වා දෙන්න පුළුවන්. එතකොට පරාරෝපණය කියන සංකල්පයේ සරල අදහස වෙන්නෙ යමක් නිර්මාණය කර එයට බලය පවරා එයට යටත් වී ජීවත් වීම කියන අදහස. මෙම තත්ත්වය ආර්ථිකය සහ ආගම කියන සාධක දෙක තුළ පැහැදිලිවම දකින්න පුළුවන්. ඒ අනුව මම උත්සාහ කරනවා මෙම පරාරෝපණ සංකල්පයේ දිගුවක් විදිහට ‘විඥාපන පරාරෝපණය’ කියන සංකල්පය හඳුන්වා දෙන්න. එහි අදහස තමා මිනිසා විසින් තොරතුරු නිර්මාණය‍ කරලා නැවත ඒ තොරතුරුවල පාලනයට නතුවෙලා ජීවත් වෙනවා කියන එක.

13. මෙවැනි කෘතියක් ජනගත කිරීමේ අපේක්ෂාව කුමක් ද?

අද අපි ගත කරමින් ඉන්නෙ තොරතුරු යුගයෙ තෘතීයික අවධිය. මුලින්ම මම කියන්නම් මොකක්ද තොරතුරු යුගය‍‍ කියන්නෙ කියන්නෙ කියලා. තොරතුරු යුගය‍‍ කියන එකේ අදහස තමා තොරතුරුවලින් සමාජය පාලනය වෙන යුගය කියන එක. ඒ අනුව පුවත්පත, ගුවන් විදුලිය හා රූපවාහිනී සමාජ ගත වීම සමඟ ප්‍රාථමික තොරතුරු යුගය ඇරඹෙනවා. ඊට පස්සෙ අන්තර්ජාලය, චන්ද්‍රිකා රූපවාහිනී හා ජංගම දුරකථන සොයාගැනීම ඔස්සේ ද්විතියික තොරතුරු යුගය ඇරඹෙනවා. දැන් අපි මේ ගත කරමින් ඉන්නෙ ඒ තොරතුරු යුගයෙ තුන්වන අවධිය. ඒත් මේ යුගය තවම කිසිදු විෂය පද්ධතියක් තුළින් ගැඹුරු න්‍යායාත්මක ප්‍රවේශයකට ලක්වෙලා නැහැ. ඒ නිසා මට අවශ්‍ය වෙනවා මේ යුගය සංකල්පීයව ස්ථාන ගත කරන්න. ඒ අපේක්ෂාවෙන් තමා මම මේ කෘතිය ජනගත කරන්නෙ.

http://dinamina.lk/?q=2016/11/16/25466

Comments

comments