සල්ලාල දිසාපාමොක්ලාට බිලිවන සරසවි සිසුවියන්ගේ ඛේදවාචකය

කලාව පුද්ගලයාගේ රසඥතාව උදෙසා මෙන්ම පුද්ගලයාගේ සමාජයීය අවබෝධය විස්තාරණය කිරීම සඳහා ද භාවිත විය යුත්තකි. ඇතැම් විට විවිධ හේතු මත සමාජය තුළ ප්‍රසිද්ධියේ සාකච්ඡාවට බඳුන් කළ නොහැකි දෑ කලා මාධ්‍යය ඔස්සේ නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම සිදුවේ. ඒ අනුව එවැනි ඛේදවාචකයක් සම්බන්ධව සරසවි ආචාර්යවරයෙකු විසින් රචනා කරන ලද ගීතයක් ශ්‍රවණය කිරීමට පසුගිය දිනයක මා හට අන්තර්ජාලය ඔස්සේ අවස්ථාව උදාවිය. එබැවින් මඟ හැර යා නොහැකි වූ එම ගීතය පිළිබඳව මෙසේ සටහනක් තබමි.

සරසවිය සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති ගීත පිළිබඳ අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන්ම සරසවි ප්‍රේමය පමණක් ඒවා තුළ උත්කර්ෂයට නංවා ඇතත් එයින් ඔබ්බට ගියා වූ වස්තු බීජයක් මෙම ගීතය සඳහා රචකයා විසින් අන්තර්ගත කරගෙන ඇත. එසේම මෙහි දැකිය හැකි වන්නා වූ වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ එවැනි වස්තු බීජයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සරසවි ඇදුරුවරයෙක් විසින්ම කටයුතු කර තිබීමය. එනිසා එවැනි සුවිශේෂී ගීතයක් සම්බන්ධයෙන් සටහනක් තැබීම වැදගත් වන බැවින් Iranga.net වෙබ් අවකාශය මෙසේ මුල් වරට ගීතයක් සම්බන්ධව අදහසක් ඉදිරිපත් කිරීම සඳහා විවෘත කරමි.

ඒ අනුව මෙම ගීතයේ පද රචනය රුහුණු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය නන්දසිරි කිඹියහෙට්ටිගෙනි. මෙහි තනු නිර්මාණය සමන්ත පෙරේරාගෙන් වන අතර ගීතය ගායනා කරනු ලබන්නේ ශානිකා සුමනසේකර විසිනි.

ගීතය ආරම්භ වන්නේ මෙලෙසිනි.

“දිසාපාමොක් ඇදුරුතුමනේ
තක්සලාවෙන් යන්න අවසර
හොඳම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර…”

මෙම ගීතය නූතන ඇතැම් දිසාපාමොක් ඇඳුරුතුමන්ලා පිළිබඳ රචනා වූවකි. ගීතය ආරම්භ වන්නේ සිසුවිය විසින් තක්සලාවෙන් පිටවී යන්නට කරනු ලබන ආයාචනයක් ලෙසිනි. ඇය පවසා සිටින්නේ ඇයට සරසවියේ දී හොඳම සිසුවිය වන්නට අවශ්‍ය නොවන බවයි. එනම් ඇය පවසන්නේ ඒ වෙනුවට ඇය සතු මහාර්ඝ වස්තුව වන කුමරි බඹසර සරසවි ආචාර්යවරයා හමුවේ පූජා කර පන්ති සාමාර්ථ හෝ සරසවි කථිකාචාර්යවරියක් වන්නට ඇයට අවශ්‍ය වන්නේ නැති බවයි. ඒ වෙනුවට කුමරි බඹසර රැකගෙන සාමාන්‍ය සිසුවියක් වශයෙන් සරසවියෙන් නික්ම යන බව ඇය ප්‍රකාශ කර සිටියි.

අප කැමති වුවත් අකමැති වුවත් පිළිගත යුතු ඇතැම් සරසවි සිසුවියන් ලක්වන ඛේදවාචකය මෙසේ මෙම ගීතය තුළින් ඉදිරිපත් වේ. මෙම අමිහිරි මෙන්ම කටුක තත්ත්වය පිළිබඳව සරසවි ප්‍රජාව ඉතාම හොඳින් දනී. එහෙත් යම් යම් හේතු සාධක හේතුවෙන් එය සඟවා තබා කටයුතු කිරීමට බොහෝ දෙනාට සිදු වී ඇත්තේ සරසවි ආචාර්යවරයා සතු වන සමාජ බලය හේතුවෙනි. එම සමාජ බලය අවභාවිතයේ යොදවමින් ඇතැම් ආචාර්යවරුන් සරසවි සිසුවියන්ව බිලි ගැනීමට කටයුතු කරනු ලබයි.

මෙම තත්ත්වය මෙරටේ ප්‍රමුඛතම සරසවි තුළ ක්‍රියාත්මක වන අතිශය සුලභ තත්ත්වයක් වන අතර එසේ සිසුවියන් සිය නිදි යහනට කැඳවන මෙරටේ අතිශය ප්‍රසිද්ධ සරසවි ආචාර්යවරුන් පිළිබඳව ද  සරසවි ප්‍රජාව අතර බහුලව කතාබහට ලක්වේ. එසේම තම නිදි යහනට පැමිණෙන ලෙස සරසවි ආචාර්යවරයා විසින් කරනු ලබන ඇරයුම ප්‍රතික්ෂේප කරනු ලැබූ සිසුවියන්ට අත්විඳීමට සිදුවන ඛේදවාචකය ද සරසවි ප්‍රජාව ඉතාම හොඳින් දැන සිටියි. එහෙත් එවැනි සිසුවියන්ට සිදු වන අසාධාරණයන්වලට එරෙහිව මුනිවත රකිමින් කටයුතු කිරීම හේතුවෙන් මෙසේ අහිංසක සිසුවියන් බිල්ලට ගන්නා පාදඩ ඇදුරුවරුන්ට සිය බලහත්කාරකම් තමන්ට රිසිසේ සිදු කරගෙන යාමට අවස්ථාව සැලසී තිබේ.

ගීතයේ පළමු අන්තරා කොටස මෙම තත්ත්වය තවදුරටත් මෙසේ විග්‍රහ කරනු ලබයි.

“පුරා සූසැට කලා භූෂණ
රන් පදක්කම් දිනා ගෙල පළදන්
උපාධියෙ කළු කබායෙන්
කෙසේ සඟවම් රතු පලස්මත
තිබෙන කඩතොළු තැන් – තිබෙන කඩතොළු තැන්…”

එනම් කුමරි බඹසර ආචාර්යවරයාට පුදා ලබා ගන්නා රන් පදක්කම් සහ ගරු නාමයන් කොතෙක් වුවත් ඒවා උපාධි කබායෙන් වැසිය හැකිදැයි මෙහි දී රචකයා ප්‍රශ්න කර සිටියි. එනම් සැබෑ දක්ෂයින් නොවුණ ද යහන් ගත වී ඇදුරුවරයාගේ ලිංගික ආශාවන් හොඳින්ම සන්තර්පණය කරනු ලබන සිසුවියට ඒ සෑම පදක්කමක්ම ලැබිය හැකි බව මෙයින් පෙන්වා දෙනු ලබන සත්‍යය වේ. එසේ ලබා ගන්නා ගරු නාම වෙනුවෙන් අහිමිවන පිවිතුරු බව උපාධි කබායෙන් සැඟවිය නොහැකි බවත් මේ ඔස්සේ අවධාරණය කරනු ලබයි. එසේම සිසුවියක් සතු වන්නා වූ ඉහළම වටිනාකම වන්නේ කුමරි බඹසර රැකගෙන ජීවත් වීම බව ද මෙයින් රචකයා ප්‍රකාශ කරයි. කෙසේ වුවත් මෙම තත්ත්වය අසූචි කන්දක් මෙන් සරසවි භූමිය අපවිත්‍ර හා දුර්ගන්ධයට පත් කරමින් තිබේ.

මෙම ඛේදනීය තත්ත්වය වඩාත් ප්‍රබල අන්දමින් පෙන්වා දීමට ගීතයේ දෙවන අන්තරා කොටස තුළදී ගී පද රචකයා කටයුතු කරනු ලබයි. ඒ මෙලෙසිනි.

“උපදවා බැති පෙම් හැඟුම්
නොරිදවා ගුරු සිත අකුරු කරමින්
කෙලෙස අදහා ගනිම්දෝ
දෙවොල ඇතුළේ පහන් සොරකම්
කරන බව දෙවියන් – දේවතා එළියෙන්…”

පාසල් සමය නිමා කරමින් සරසවියට ඇතුළත් වන සිසුවියක් සතුව සරසවි ආචාර්යවරයා සම්බන්ධව ඇත්තේ අතිශය පිවිතුරු ගෞරවනීය ආකල්ප සමුදායකි. එහෙත් ඇතැම් සරසවි ඇදුරන්ට සරසවි සිසුවියන්ව දෘෂ්‍යමාන වන්නේ පන්ති සාමාර්ථයක් හෝ කතිකාචාර්ය පදවියක් වෙනුවෙන් යහනට කැඳවා සිය ලිංගික හැඟීම් සන්තර්පණය කර ගත හැකි ඉල්ලමක් වශයෙනි. එය අතිශය ප්‍රබල යෙදුමකින් ගී පද රචකයා ගෙන හැර දක්වනු ලබන අතර එනම් දෙවියන් දේවතා එළියෙන් තම දොවොල තුළම ඇති පහන් සොරකම් කරන්නේ නම් එය කෙසේ විශ්වාස කළ හැකි දැයි මෙහි දී රචකයා විමසා සිටියි. එනම් සරසවිය නැමැති දෙවොලේ වැඩ වසන ආචාර්යවරුන් නැමැති දෙවිවරුන් ඔවුන් සතු බලය යොදවමින් මෙසේ සිසුවියන් බිල්ලට ගැනීම සැබැවින්ම ආශ්චර්යයක් වන බව ආචාර්යවරුන් දෙවියන් හා සමාන බව විශ්වාස කරමින් කටයුතු කරන සිසුවියන්ට පිළිගැනීමට නොහැකි ආශ්චර්යය වේ.

මෙසේ සරසවි පද්ධතිය පුරා පිළිලයක් වශයෙන් පැතිරී ඇති මෙම තත්ත්වය සමාජයේ වෙනත් අවස්ථාවල දී ද විවිධාකාර ස්වරූපයෙන් ක්‍රියාත්මක වන බව පැවසිය හැකිය. එනම් දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට මව්වරුන් ලැගුම්හල්වලට කැඳවන විදුහල්පතිවරුන් මෙන්ම මෑතකදී තිරගත වූ අතිශය ආන්දෝලනාත්මක සිනමා නිර්මාණයක් වූ “උසාවිය නිහඬයි” නැමැති චිත්‍රපටය තුළදී සාකච්ඡාවට බඳුන් කළ සිදුවීම වැනි සිදුවීම් ද ඇතුළුව විවිධ රාජ්‍ය නිලධාරීන් විසින් ලිංගික අල්ලස් ලබා ගැනීම සඳහා කටයුතු කිරීම වැනි තත්ත්වයන් ද මෙහිදී පෙන්වා දිය හැකිය. එබැවින් මෙම ඛේදවාචකය සරසවි භූමියට පමණක් විශේෂිත තත්ත්වයක් නොවුණ ද ඇදුරු භූමිකාව සම්බන්ධයෙන් අප සමාජය තුළ පවත්නා ගෞරවනීය තත්ත්වය කෙළෙසීමට මෙම තත්ත්වය හේතු වී ඇති බව අවධාරණය කළ යුතුය.

තව ද මෙම සටහන පිළිබඳව පාඨකයා විසින් පෙරළා ප්‍රශ්න කළ හැකි තවත් කරුණකට පිළිතුරක් ද මෙසේ දක්වමි. එනම් ඇතැම් සිසුවියන් පන්ති සාමාර්ථ හෝ කථිකාචාර්ය තනතුරු ලබා ගැනීම සඳහා ආචාර්යවරුන් සමඟ සිය කැමැත්තෙන්ම යහන්ගත වන බව ද සඳහන් කළ යුතුය. එනිසා මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඇතැම් ආචාර්යවරුන්ට චෝදනා කිරීම පමණක් යුක්ති සහගත නොවන බව ද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

Comments

comments