දෙරණේ “අලුත් පාර්ලිමේන්තුව” ට ඇවිත් අන්තරේ ළහිරු රෙදි ගලවා ගැනීම

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදය මේ දිනවල රටේ සියලු ජාතික ප්‍රශ්න අභිබවා සමාජයේ විවිධ පිරිස් අතර කතාබහට ලක් වෙමින් පවතී.  ඒ අනුව විවිධ මාධ්‍ය ආයතන ද මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීම සිදු කිරීම දැක ගත හැකිය. එසේ දෙරණ රූපවාහිනී නාලිකාවේ ඊයේ රාත්‍රියේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව නැමැති වැඩසටහන තුළ ද  මෙම සයිටම් අර්බුදය සාකච්ඡාවට ලක් කිරීමට කටයුතු කර තිබුණි. එහිදී මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයෙක් වශයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහභාගි කරගෙන තිබූ අතර පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කිරීමට යාමේදී ඔහු ඇතුළු ඔහුගේ මතය නියෝජනය කරනු ලබන පාර්ශවය විසින් හිතාමතාම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නිර්මාණය කිරීමට උත්සාහ දරනු ලබන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ මුවින්ම රට හමුවේ ප්‍රකාශ විය. බොහෝ ප්‍රේක්ෂක පිරිසක් විසින් නරඹන රටේ පිළිගත් රූපවාහිනී නාලිකාවක් විසින් පවත්වනු ලැබූ සජීවී රූපවාහිනී සංවාදයකට පැමිණ කිසිදා විසඳිය නොහැකි අර්බුදයකට, නොඑසේනම් ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීම වැනි හිස් සටන් පාඨ ඉදිරිපත් කරමින් රාජ්‍ය සරසවි සිසුන් මෙහෙයවමින් සිටින එම අන්තරේ ළහිරු එසේ ප්‍රසිද්ධියේ රෙදි ගැලවා ගැනීම පිළිබඳව Iranga.net තුළ මෙම සටහන තබමි.

දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවීණතම නිවේදකයෙකු වන නීතීඥ සංඛ අමරජිත් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබූ අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය හා සම්බන්ධ ආයතන හා සංවිධාන නියෝජනය කරමින් සම්පත් දායකයින් පස් දෙනෙකු මෙයට සහභාගි කරවාගෙන තිබුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් එක් නියෝජිතයෙක්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නියෝජනය කරමින් එක් නියෝජිතයෙක්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයෙක් හා සයිටම් ආයතනය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙක් ආදී වශයෙන් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින්ගේ සහභාගිත්වය ලබාගෙන තිබුණි.

මෙම වැඩසටහනේ ස්වභාවය අනුව එක් එක් පුද්ගලයා විසින් මාතෘකාවට අදාළව සිය පැහැදිලි කිරීම් සිදු කරනු ලැබූ අතර සම්පත් දායකයෙකුගෙන් ප්‍රශ්න ඇසීමට වෙනත් සම්පත් දායකයින්ට අවස්ථාව ලබා දී තිබීම ද මෙම වැඩසටහනේ ආකෘතිය තුළ අන්තර්ගත වූ සුවිශේෂී ලක්ෂණයක් විය. ඒ අනුව සයිටම් ආයතනයේ වෛද්‍ය ශිෂ්‍යයින්ගේ දෙමව්පියන්ගේ සංගමය නියෝජනය කරමින් මෙම වැඩසටහනට සහභාගි වී සිටි මහාචාර්යවරයා අන්තරේ ළහිරු වීරසේකරට ප්‍රශ්නයක් යොමු කළ අතර එම ප්‍රශ්නය සඳහා ළහිරු විසින් ලබා දුන් පිළිතුර ඔස්සේ ඔහු ඇතුළු පාර්ශවය විසින් ලාංකේය අධ්‍යාපන ක්ෂේ‍ත්‍රය තුළ නිර්මාණය කිරීමට උත්සාහ දරණ අර්බුදය සම්බන්ධයෙන් රට හමුවේ හෙළිදරව් විය.

ඒ අනුව එම මහාචාර්යවරයා විසින් අන්තරේ ළහිරුගෙන් විමසා සිටි ප්‍රශ්නය වූයේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය සම්බන්ධ ගැටළුව නිරාකරණය කළහොත් සයිටම් ආයතනය පිළිගැනීමට ඔවුන් සූදානම් ද යන්නයි. ඒ සඳහා ළහිරු ලබා දුන් පිළිතුර වූයේ නැත යන්නයි. එනම් ඔවුන්ට අර්බුදය ඇත්තේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් නොව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් වන බවද ඔහු පවසා සිටියේය.

උසස් පෙළ විභාගයට පසු මෙරටේ රාජ්‍ය සරසවියකින් සිය උසස් අධ්‍යාපන අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට නොහැකි වන අතිමහත් බහුතරයක් වන සිසුන් සම්බන්ධ සංඛ්‍යාලේඛන ළහිරු විසින්ම ඔහු මෙසේ ප්‍රශ්නගත වීමට සුළු මොහොතකට පෙර මෙම වැඩසටහන හමුවේ ඉදිරිපත් කිරීම හා මෙසේ ළහිරු ලබා දුන් පිළිතුර එක පෙළට තබා විමසා බැලීමේ දී පැවසිය හැකි වන්නේ එසේ සංඛ්‍යා ලේඛන මඟින් අතිශය පැහැදිලිව හෙළිදරව් වන උසස් අධ්‍යාපනය ලබා ගැනීම සම්බන්ධයෙන් මෙරටේ පවත්නා අර්බුදය විසඳීම සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම හැර වෙනත් ප්‍රායෝගික විකල්පයක් (මෙහි දී මා ප්‍රායෝගික විකල්පයක් යනුවෙන් සඳහන් කරන ලද්දේ පෞද්ගලික විශ්වවිද්‍යාල විරෝධීන් විසින් මේ සඳහා ඉදිරිපත් කරන විකල්පය වන රාජ්‍ය සරසවි පද්ධතියේ පහසුකම් වැඩිකිරීම නැමැති විකල්පය මෙම අර්බුදයට ඉදිරිපත් කළ හැකි ප්‍රායෝගික විකල්පයක් නොවන බැවිනි) නොමැති බවයි. එනිසා මෙම අර්බුදය අතිඋග්‍රව උද්ගත වී ඇති මෙරටේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම කාලෝචිත මෙන්ම වඩාත් ප්‍රායෝගික විසඳුම වන බව අන්තරය ඇතුළු පාර්ශවය සිය පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීමේ අරමුණින් යුතුව ප්‍රතික්ෂේප කරමින් සිටින සත්‍යය වේ.

එබැවින් අන්තරේ ළහිරුගේ මෙම අදහස් දැක්වීම ඔස්සේ ඔහු ද ඇතුළුව එම මතය නියෝජනය කරමින් සිටින පාර්ශවය විසින් මෙරට තුළ හිතාමතාම අධ්‍යාපනය සම්බන්ධව අර්බුදයක් ඇති කරමින් සිටින බව පැහැදිලිය. එනම් මෙම අර්බුදය සාධනීය අන්දමින් විසඳා ගැනීම සඳහා ප්‍රමිතිය සම්බන්ධයෙන් වන විසඳුම් සහ ඒ සඳහා ඉදිරිපත් කළ හැකි යෝජනා ඉදිරිපත් කිරීම ඔවුන් වෙතින් සිදු විය යුතු වුවත් ඔවුන් එසේ නොකරමින් රාජ්‍ය සරසවි සිසුන් සදාකාලිකව මහමඟට කැන්දමින් ඉබ්බාගෙන් පිහාටු ඉල්ලා සිටින බංකොලොත් සටනක නියැලී සිටියි.

එසේම සයිටම් ආයතනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් නඟන චෝදනා සම්බන්ධයෙන් ද පිළිතුරක් මෙහිදී ලබා දිය යුතුය. එනම් මෙම ප්‍රමිතිය කුමක්ද, ඒ සඳහා පවත්නා නිර්ණායක මොනවාදැයි යන්න සම්බන්ධයෙන් තවමත් නීතිමය වශයෙන් පිළිගත් ලේඛනයක් නොමැති අතර එවැන්නක් ඉදිරිපත් වුවහොත් එම ප්‍රමිතියට අදාළව රාජ්‍ය සරසවි පද්ධතියේ ඇතැම් වෛද්‍ය පීඨවල පවතින ප්‍රමිතිය සම්බන්ධයෙන් ද ප්‍රශ්න සහගත වන බව පැවසිය යුතුය.

ඒ අනුව පැවසිය යුතු වන්නේ අන්තරේ ළහිරු ඇතුළු පාර්ශවය විසින් රාජ්‍ය සරසවි සිසුන් ඇතුළු විවිධ පාර්ශව දිනපතා මහමඟට කැඳවා විරෝධතා ව්‍යාපාර පවත්වමින් රට පුරා අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටීමේ යථාර්ථය අප විසින් තර්කානුකූලව අවබෝධ කර ගත යුතු බවයි. එසේම ඔවුන්ගේ එම ප්‍රයත්න ඔස්සේ මෙරටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවත්නා අර්බුදය තවදුරටත් තීව්‍ර වීම පමණක් සිදු වන අතර ඒ ඔස්සේ පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කිරීම සිදුවන බව ද පැවසිය යුතුය. එනිසා මෙම තත්ත්වය අවබෝධ කර ගනිමින් මෙවැනි හරසුන් සටන් ව්‍යාපාරවලට තම අනාගතය බිලි ගැනීමට ඉඩදී තම අහිංසක දෙමව්පියන්ගේ බලාපොරොත්තු විනාශ කිරීමට කටයුතු නොකරන මෙන් මෙම ලිපිය කියවන සියලු රාජ්‍ය සරසවි සිසුන්ගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිමි.

මෙම වැඩසටහන පහතින් නරඹන්න.

Comments

comments