නවකවධය සහ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ නිරුවත

අන්තරය හෙවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නැමැති ඊනියා ශිෂ්‍ය සංගමය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ මාධ්‍ය මඟින් අසන්නට දකින්නට ලැබේ. ඒ මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මෙම ඊනියා සිසු සංගමයේ මැදිහත් වීමෙන් පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාර හා වෙනත් ක්‍රියාමාර්ග හේතුවෙනි. මෙම සංගමය මෙසේ දැඩි සයිටම් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මාධ්‍ය ඉදිරියේ සහ සමස්ත රට වැසියන් ඉදිරියේ නිරූපණය කරමින් සිටින්නේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම නැමැති ඔවුන්ගේ සාම්ප්‍රදායික සටන් පාඨය ඉදිරිපත් කරමිනි. එහෙත් මාධ්‍ය ඉදිරියේ සහ රට වැසියන් ඉදිරියේ නිරූපණය වන ඔවුන්ගේ මෙම නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ ඊනියා ප්‍රතිපත්තියත් මාධ්‍යයට සහ මහජනතාවට නිරූපණය නොවන ඔවුන්ගේ නවකවධ හිතවාදී ප්‍රතිපත්තිය පිළිබඳවත් අවධානය යොමු කිරීමේ දී විද්‍යාමාන වන කරුණ වන්නේ මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනය ලබන එකම සිසු පිරිසක් සම්බන්ධයෙන් ඔවුන් විසින් දෙයාකාරයකට කටයුතු කරමින් සිටින බවය. එනම් සරසවි පද්ධතිය තුළ නවක වධය ක්‍රියාත්මක කරමින් සිටින පිරිස සම්බන්ධයෙන් සහ එම පිරිසේ අතිඅමානුෂික නවක වධයට ලක්වන ඔවුන් වැනිම රාජ්‍ය සරසවි සිසුසිසුවියන් සම්බන්ධයෙන් මෙම සිසු සංගමය අනුගමනය කරමින් සිටින්නේ එකිනෙකට පරස්පර ප්‍රතිපත්තියක් වන බැවිනි. මේ අන්තරේ එම දෙබිඩි නවක වධ හිතවාදී ප්‍රතිපත්තිය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා තබන සටහනකි.

අන්තරය ඇතුළු ඊට අනුබද්ධව ක්‍රියාත්මක වන අන්තරය හා සමානව දෙබිඩි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරනු ලබන ඊනියා සිසු සංගම් සම්බන්ධයෙන් මා විසින් මීට පෙර ද මාගේ ලිපි තුළ සඳහන් කර තිබේ. විශේෂයෙන්ම “නවකවධ වින්දිතයින්ගේ මානව අයිතිවාසිකම් හැර” අනෙකුත් සියලු සිසුන්ගේ (එනම් පටු දේශපාලන අරමුණු සාධනය කර ගැනීම පිණිස පවත්වනු ලබන අන්තරයේ විරෝධතාවලදී පොලීසියේ ප්‍රහාරවලට ලක්වන සිසුසිසුවියන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම මෙම සංවිධානයේ එකම අරමුණ වේ) මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය පවා නවකවධ වින්දිතයින් පිළිබඳ අනුගමනය කරනු ලබන්නේ මෙම අන්තරයේ ප්‍රතිපත්තියම මිස එම සංවිධානයේ නමට හෝ ගැළපෙන ප්‍රතිපත්තියක් වේ. මෙම සංවිධානයේ එම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එහි  නියෝජිතවරයෙකුගේ මුවින්ම ප්‍රකාශ වූ අවස්ථාවක් පිළිබඳව මාගේ මතකයේ ඇත. එය මෙසේය.

එනම් මා අධ්‍යාපනය ලැබූ සරසවියේ පැවැත්වුණු එක්තරා දේශනයකට මෙම මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානයේ එක්තරා නියෝජිතයෙක්ට (මාගේ මතකය අනුව ඔහු එම සංවිධානයේ ලේකම් තනතුර දැරූ පුද්ගලයා වේ) ආරාධනා කර තිබුණි. ඔහු විසින් පැවැත්වූ එම දේශනයෙන් අනතුරුව සභාවට ඔහුගෙන් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබා දුන් අතර ඒ අනුව නවකවධයට ලක්වන සරසවි සිසුන් සම්බන්ධයෙන් මෙම සංවිධානය මෙතෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මා විසින් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේය. එහි දී ඔහු ලබා දුන් පිළිතුර වූයේ ඔවුන් විසින් වෙනත් සිදුවීම්වලදී දක්වන ප්‍රමුඛත්වය හා සැසඳීමේ දී මෙම නවකවධ වින්දිතයින් සම්බන්ධයෙන් ඔවුන් දක්වන උනන්දුවේ අඩුවක් පවතින බව ඔවුන් පිළිගන්නා බවයි. මෙය උනන්දුවේ අඩුවක් වශයෙන් නොව ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොදැක්වීම වශයෙන් පෙන්වා දීම වැදගත් වේ.

කැලණි සරසවියේ නවක සිසුවියක් දිග කලිසමක් ඇඳීම මුල්කර ගත් සිදුවීමකට ජ්‍යෙෂ්ඨ සිසුසිසුවියන් විසින් එම ශිෂ්‍යාව නවක වධයට ලක්කිරීම හේතුවෙන් අදාළ ජ්‍යෙෂ්ඨ සිසුසිසුවියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ අතර එම සිදුවීම නවක වධය පිළිබඳව පැවති සමාජ කතිකාවත නැවතත් අලුත් කරන සිදුවීමක් බවට පත්විය. එහෙත් අන්තරය හෝ වෙනත් කිසිදු ඊනියා ශිෂ්‍ය සංවිධානයක් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඉදිරිපත් නොවූ අතර කෙතරම් සමාජ අවධානයක් ලබා ගත් සිදුවීමක් වුවත් කාලානුරූපව එය යටපත් වීමට මෙම සිසු සංවිධාන විසින් ඉඩ හරින ලද්දේ මෙම සිදුවීමට වඩා අමානුෂික ස්වරූපයේ නවක වධ සිදුවීම් සිදුවුවද ඔවුන් මුනිවත රකිනා බව සමාජය ඉදිරියේ  තහවුරු කරමිනි. නොඑසේනම් නවකවධය සරසවි පද්ධතියෙන් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය වන කතිකාවතක් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගොඩනැංවීමට එම සිදුවීම හේතුවක් බවට පත්කර ගැනීමට අවකාශය තිබූ අතර එසේ නොකර සිටීම ශිෂ්‍ය සංගම් වශයෙන් පෙනී සිටිමින් ලජ්ජා සහගත භූමිකාවක් ඉටු කරනු ලබන අන්තරයේ නිරුවත සමාජය හමුවේ හෙළිවීමකි.

ඉකුත් වසරේ දී කැලණි සරසවියේ සිදුවූ මෙම අවාසනාවන්ත නවකවධ සිදුවීමෙන් වසරක් ඉක්ම යාමටත් පෙර මේ දිනවල නවක වධ සිදුවීමක් නැවතත් සමාජය තුළ කතාබහට ලක් වෙමින් පවතී. ඒ පේරාදෙණිය – ගලහ මාර්ගයේ නිවසක් කුලී පදනම මත ලබා ගනිමින් වධකාගාරයක් පවත්වාගෙන යනු ලැබූ පේරාදෙණිය සරසවියේ “ශිෂ්‍ය ත්‍රස්තවාදීන්” 15 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වීම හේතුවෙනි. මෙම සිදුවීම ඔස්සේ නවක වධයේ පවත්නා අතිශය දරුණු ස්වභාවය මෙන්ම නවකවධකයින්ගේ සංවිධානාත්මක හා බිහිසුණු ස්වභාවයද රට හමුවේ හෙළිදරව් වේ.

මෙම සිදුවීම මඟින් වධකාගාර පිළිබඳ මතකය නැවතත් සමාජය තුළ අවදිකර තිබේ. එනම් ඉකුත් භීෂණ සමයේ විවිධ පාර්ශව විසින් පවත්වාගෙන යනු ලැබූ වධකාගාර මඟින් ඇතිකළ  භීතිය හා තැතිගැන්ම සරසවියට පිවිසෙන නවක සිසු සිසුවියන් තුළ ද ජනිත කරවීමට මෙම සිදුවීම හේතුවක් බවට පත්වනු ඇත. වර්තමාන සරසවි සිසු සිසුවියන් අතීතයේ මෙරටේ එක් අවධියක පැවති එම භීෂණ සමයේ ජීවමාන සාක්ෂිකරුවන් නොවුණ ද ඔවුන්ගේ දෙමව්පියන් එම තත්ත්වය අත්දැක ඇති බැවින් එවැනි අතීත වධකාගාර නැවත මෙසේ සරසවි තුළ ක්‍රියාත්මක කරමින් තිබීම තුළ  සිය දරුවන් සරසවිවලට එවීමට දෙමව්පියන් වරක් දෙවරක් නොව සිය වතාවක් වුවද සිතා බලනු නියතය.

කෙසේ වුවත් මේ දිනවල මහා මාර්ග ආක්‍රමණය කරමින් නිදහස් අධ්‍යාපනයේ අයිතිය ඉල්ලා සිසුසිසුවියන් මහමඟට කැඳවා විරෝධතා සංවිධානය කරමින් සිටින අන්තරයට හෝ මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය වැනි ඔවුන්ගේ කිසිදු ඊනියා සිසු සංවිධානයකට මෙසේ වධකාගාර පවත්වාගෙන යමින් නවක වධය ලබා දෙමින් සිටීම දෘෂ්‍යමාන වන්නේ නැත. එසේම එවැනි වධකාගාර තුළදී අමුඅමුවේ උල්ලංඝනය වන නවක සිසු සිසුවියන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් “මානව හිමිකම්” නැමැති නමට පවා කැළලක් ඇති කරමින් මෙවැනි බරපතළ තත්ත්වයේ සිදුවීම් නොසලකා හරිමින් සිටින මානව හිමිකම් සුරැකීමේ ඊනියා ශිෂ්‍ය නිලධරයන් ද මෙවැනි සිදුවීම් හමුවේ අන්ධයන් ලෙස කටයුතු කරමින් සිටියි.

ඒ අනුව පැවසිය හැකි වන්නේ අන්තරය ඇතුළු ඊනියා සිසු සංවිධාන විසින් නවක වධය ක්‍රියාත්මක කරමින් සිටින පිරිසට එක් ආකාරයකටත් නවක වධයට ලක් වෙමින් සිටින සිසුන් සම්බන්ධයෙන් වෙනත් ආකාරයකටත් කටයුතු කරමින් සිටින බවයි. මෙරටේ සැබෑ ශිෂ්‍ය ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ නම් මෙවැනි නවක වධ සිදුවීම් වැළැක්වීමට ඔවුන්ට කටයුතු කිරීමට හැකියාව පැවතිය යුතුය. අවම තරමින් මන්ද මානසික තත්ත්වවල පසුවෙමින් මෙසේ නවක වධය ක්‍රියාත්මක කරනු ලබන සිසු සිසුවියන්ගේ මානසිකත්වය සමාජයට හිතකර තත්ත්වයට පත්කිරිම සඳහා වන උපදේශනාත්මක වැඩපිළිවෙලක් හෝ ක්‍රියාත්මක කිරීමට ඔවුන් මැදිහත් විය යුතුය. එසේ නොමැතිව රාජ්‍ය සරසවි පද්ධතියේ එක්තරා සිසුසිසුවියන් පිරිසක් මෙවැනි අන්දමින් අතිශය දරුණු නවක වධයට ලක් වෙමින් සිටියදී මුනිවත රකිමින් ක්‍රියා කිරීම  සමස්ත ලාංකේය ශිෂ්‍ය පරපුරේම අභාග්‍යය බව අවසාන වශයෙන් පැවසිය යුතුය.

Comments

comments