නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය සහ තරුණ දායකත්වය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුවට බල කෙරෙන මහජන සභාව හා සම්මන්ත්‍රණයක් ඊයේ මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. ආචාර්ය දඹර අමිල හිමි, ගාමිණී වියන්ගොඩ හා නීතීඥ ලාල් විජේනායක ඇතුළු විද්වත් මණ්ඩලක් මෙහි දේශකයින් වශයෙන් සහභාගි විය. මා ද ඇතුළුව මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියේ තරුණ තරුණියන් පහකටත් අඩු ප්‍රමාණයකි. එසේම මේ සඳහා සහභාගි වී සිටි අනෙක් පුද්ගලයින් මැදිවියේ සහ මැදිවිය ඉක්මවූ පුද්ගලයින් විය.  ජීවිත කාලයේ දී බොහෝ විට එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මහජන දායකත්වය ලබා දීමට අවස්ථාව උදාවීම වැනි කාලීන වශයෙන් මෙන්ම සමාජයීය හා දේශපාලනමය වශයෙන් ද අතිශයින් වැදගත් වන්නා වූ අවස්ථාවක් සඳහා තරුණ තරුණියන් සහභාගි නොවී සිටීම ඛේදනීය තත්ත්වයකි. මේ ඒ පිළිබඳව සහ ඊයේ පැවැත්වූ එම සම්මන්ත්‍රණයේ දී පළවූ අදහස් සම්බන්ධයෙන් තබන සටහනකි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී 1948 වර්ෂයට පෙර පනවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙන්ම නිදහසින් පසු මෙරටේ ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ද්විත්වය පිළිබඳව සැලකිල්ලට ගත හැකිය. එහි දී  1948 ට පෙර මෙරටේ ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුළුමනින්ම අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා මත සකස් කර ක්‍රියාත්මක වූ ඒවා විය. එසේම 1972 සිට මෙරටේ ක්‍රියාත්මක වූ පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ දී ද ජනතාවට ඒ සඳහා අවකාශය විවර නොවූ අතර 1978 සිට මෙරටේ ක්‍රියාත්මක වන දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද මුළුමනින්ම එකල පාලකයින්ගේ අවශ්‍යතාව මත සකස් කර ක්‍රියාත්මක වූ නිසා අද දක්වාම ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වෙතින් විරෝධතා එල්ල වෙමින් තිබේ. විශේෂයෙන්ම 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදිසි පනතක් වශයෙන් සම්මත කර ගැනීමට කටයුතු කිරීම තුළ එහි පැවති ඒකාධිපති ස්වරූපය පැහැදිලි වේ.

මෙරටේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී  විවිධ වකවානුවල බලයට පත්වූ පාලකයින් විසින් සිය පෞද්ගලික අවශ්‍යතාවන් සඳහා අවස්ථා ගණනාවක දී එය සංශෝධනය කිරීම් ගණනාවකට ලක්කර ඇති බව පැවසිය හැකිය. එනම් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවා ගෙවීගිය දශක හතරකට ආසන්න කාලය තුළ අවස්ථා 19කදී එය සංශෝධනයට ලක්කර තිබේ. එහෙත් ලොව බලවත්ම රාජ්‍යයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා එය පැනවීමෙන් ගතවූ වසර 228 ක කාලය තුළ මේ දක්වා එය සංශෝධනය කර ඇත්තේ අවස්ථා 27 කදී පමණි. එබැවින් මෙරටේ පාලකයින් මෙම මූලික නීතිය සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති තත්ත්වය පැහැදිලිය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමේ ක්‍රියාවලිය තුළ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, බලය බෙදා හැරීම හා රටට හිතකර මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කර ගැනීම යන මූලික කරුණු ත්‍රිත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වේ. ඒ අනුව එහි ප්‍රධාන කරුණක් වන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙසේ අවධානය යොමු කළ හැකිය.

එනම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ඊට එරෙහිව ඉදිරිපත් වන කරුණු සඳහා බලපා ඇති එක් ප්‍රබල කරුණක් වශයෙන් මෙම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නැමැති කරුණ පෙන්වා දිය හැකිය. 1994 සිට මේ දක්වා බලයට පත්වූ සෑම ජනාධිපතිවරයෙකු විසින්ම එය අහෝසි කරන බවට මහජනතාව හමුවේ ප්‍රතිඥා ලබා දුන්න ද තවමත් එය හුදු නාමික පොරොන්දුවක් පමණක් බවට පත්වී තිබේ. ඇතමුන් විවිධ සාධක ගෙනහැර දක්වමින් විධායක ජනාධිපති ධූරයක් මෙරටේ පැවතිය යුතු බවට ප්‍රකාශ කරන අතර තවත් බොහෝ පිරිසක් එය අහෝසි කළ යුතු බවට දීර්ඝ කාලයක සිට හඬ නඟමින් සිටියි.

ඇමරිකාව, ප්‍රංශය ආදී රාජ්‍යයන්වල මෙසේ විධායක ජනාධිපති ධූරය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවිනුත් එවැනි රාජ්‍යයන් ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන් වශයෙන් පෙන්වා දිය හැකි වන බැවිනුත් මෙම දේශපාලන ක්‍රමය මෙරටට නුසුදුසු වන්නේ ඇයි දැයි මෙහි දී කිසිවෙකු හෝ ප්‍රශ්න නැඟිය හැකිය. ඒ සඳහා ගෙනහැර දැක්විය හැකි පිළිතුර වන්නේ එසේ විධායක ජනාධිපති ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා අත්‍යවශ්‍ය දියුණු දේශපාලන සංස්කෘතියක් එවැනි රටවල් තුළ දැකිය දැකි වුවත් එවැන්නක් අප රටේ දක්නට නොමැති වීමය. එනිසා මෙරටේ බලයට පත්වන පාලකයින් විධායක ජනාධිපති ධූරයේ බලතල අධිභාවිතයට ගනිමින් ඒකාධිපති පාලකයෙකුගේ ස්වරූපයෙන් කටයුතු කිරීම සිදුවේ. එහෙත් ඇමරිකාව වැනි රටක මෙවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන අතර ජනාධිපතිවරයා අත්තනෝමතිකව කටයුතු කිරීමට උත්සාහ දරන්නේ නම් අධිකරණය වැනි ආයතන ඒ සඳහා මැදිහත් වී එම තත්ත්වය වැළැක්වීමට කටයුතු කරයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ද මෙම තත්ත්වය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූ ආකාරය පසුගිය දිනවලදී දැකගත හැකිවිය.

පසුගිය දශක පහ තුළ ලෝකයේ විධායක ජනාධිපති ධූරය ක්‍රියාත්මක වූ රාජ්‍යයන් අතරින් නොකඩවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට සමත් වූ රාජ්‍යයන් පිළිබඳව සිදු කරනු ලැබූ සමීක්ෂණයක දී එවැනි රාජ්‍යයන් දෙකක් පමණක් හඳුනාගෙන තිබේ. ඉන් එකක් ඇමරිකා එක්සත් ජනපදය වන අතර අනෙක් රාජ්‍යය වන්නේ කොස්ටරිකාව නැමති රාජ්‍යයි. ඒ අනුව පැවසිය හැකි වන්නේ විධායක ජනාධිපති ධූරයක් ක්‍රියාත්මක වීම තුළ ප්‍රජාතන්ත්‍රවාදය නොකඩවා ආරක්ෂා කර ගැනීමට සුවිශාල වෙහෙසක් දැරිය යුතු වන බවය. ඒ සඳහා එරට දේශපාලන සංස්කෘතිය, අධිකරණය ඇතුළු ආයතන පද්ධතිය, බලයට පත්වන පාලකයින් හා මහජනතාව ආදී සෑම පාර්ශවයක් විසින්ම එම තත්ත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුවේ.

මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී අවධානයට ලක්වන අනෙක් ප්‍රධාන කරුණ වන්නේ බලය බෙදා හැරීම නැමති කරුණය. විධායක ජනාධිපති ධූරයට එරෙහිව අතිමහත් බහුතරයක් වෙතින් එල්ල වන්නා වූ ප්‍රබල විරෝධයට වඩා මෙම කරුණ සම්බන්ධයෙන් ප්‍රබල පාර්ශව ද්විත්වයක අදහස් ඉදිරිපත් වන අතර එසේ බලය බෙදා හැරීම තුළ රට දෙකඩ වන බවට ඇතැම් පාර්ශව විසින් අදහස් දැක්වීම සහ කාලීන අවශ්‍යතාවක් වශයෙන් සලකා බලය බෙදා හැරිය යුතු වන බවට ඉදිරිපත් වන අදහස් හේතුවෙන් මෙම කරුණ දැඩිව විවාදයට බඳුන් වන කරුණක් බවට පත්වී තිබේ.

බලය බෙදා හැරීම තුළින් රාජ්‍යයක් කැබලිවලට වෙන් වී නොයන බවත් එසේ සිදු නොකිරීමෙන් රටක් කැබලිවලට කැඩී යාමට ඉඩ ඇතැයි යන්න සම්බන්ධයෙන් ලෝක ඉතිහාසයේ සිදුවූ යම් යම් සිදුවීම් ඇසුරින් කරුණු ගෙනහැර දැක්විය හැකිය. ඒ අනුව ඒ සඳහා එක් නිදසුනක් වශයෙන් 1861 වසරේ දී ඇමරිකාවේ ඇතිවූ සිවිල් යුද්ධය පෙන්වා දිය හැකිය. මේ සඳහා හේතු වූ සිදුවීම වන්නේ ඇමරිකාවේ දකුණේ පිහිටි ප්‍රාන්ත රාජ්‍යයන් හතක් ඇමරිකාවෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගන්නා බවට ප්‍රකාශයක් නිකුත් කිරීමය. වසර හතරක් පුරා පැවති මෙම යුධමය තත්ත්වය හේතුවෙන් ලක්ෂ හතක් පමණ වන පිරිසකට සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවිය. මෙම සිවිල් යුද වාතාවරණය දශක තුනක් පුරාවට මෙරටේ පැවති යුද තත්ත්වයට සමාන වේ. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවේ ජනාධිපති ධූරය දරණ වකවානුවේ මෙම තත්ත්වය ඇතිවූ අතර 1865 වසරේ දී මෙම බෙදුම්වාදී ව්‍යාපාරය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් පසුව එම ප්‍රාන්ත රාජ්‍යයන් සඳහා වඩාත් පුළුල් අන්දමින් බලතල බෙදා හැරීමට කටයුතු කිරීම සිදුවිය.

මෙම තත්ත්වය හා සමාන වන තත්ත්වයක් අපට අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව ඇසුරින් ද පෙන්වා දිය හැකිය. එනම් 1947 වර්ෂයේ දී නිදහස ලබන විට ඉන්දියනු රාජ්‍යය ඉන්දියාව හා පාකිස්ථානය වශයෙන් කොටස් දෙකකට කැඩුණි. එයින් වසර තුනකට පසුව අම්බෙට්කාර්ගේ මූලිකත්වයෙන් යුතුව ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය විය.  වසර තුනකට පෙර ඉන්දියාව කොටස් දෙකකට කැඩී ගියද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලය බෙදා හැරීමේ ක්‍රමවේදය අනුව සකස් කිරීමට කටයුතු කළ බැවින් අද දක්වාම ඉන්දියාව කැබලිවලට කැඩී නොගිය රාජ්‍යයක් වශයෙන් ක්‍රියාත්මක වේ. මේ අනුව සැලකීමේ දී ලෝක ඉතිහාසය තුළ දෘෂ්‍යමාන වන මෙම පූර්වාදර්ශයන් මෙරටේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ කාර්යයේ දී අනුගමනය කිරීමට කටයුතු කළ හැකිය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව සාකච්ඡාවට බඳුන් වන අනෙක් ප්‍රධාන කරුණ වන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට ලක් කිරීමය. එනම් වර්තමානයේ ක්‍රියාත්මක වන සමානුපාතික මැතිවරණ ක්‍රමයට වඩා ජනතාවට වඩාත් හිතකර මැතිවරණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට බඳුන් කෙරේ. විශේෂයෙන්ම වර්තමාන මැතිවරණ ක්‍රමය තුළ දිස්ත්‍රික්ක පදනමෙන් මන්ත්‍රීවරුන් පත් කිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරයා සෘජුව මහජනතාවට වග කියන පුද්ගලයෙකු බවට පත් නොවීම සහ භූගෝලීය වශයෙන් විශාල ප්‍රදේශයක තම ඡන්ද ව්‍යාපාරය සිදු කිරීමට අපේක්ෂකයින්ට දැරීමට සිදුවන අධික වියදම හේතුවෙන් ඒ සඳහා විවිධ ව්‍යාපාරිකයින්ගෙන් මෙන්ම නීත්‍යානුකූල නොවන ව්‍යාපාරවල නියැලෙන පුද්ගලයින්ගෙන් පවා මුදල් ලබා ගැනීමට කටයුතු කිරීමෙන් අනතුරුව මැතිවරණය ජයගත් පසු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ට මුදල් වියදම් කළ තැනැත්තන්ට ප්‍රතිඋපකාර කිරීමට කටයුතු කිරීම තුළ මෙරටේ නිර්මාණය වී ඇති විෂම චක්‍රයට එරෙහිව වැට බැඳීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමය සංශෝධයට ලක්කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්වී තිබේ.

මෙම මූලික කරුණු ත්‍රිත්වය ද ඇතුළත්ව තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට අදාළව සාකච්ඡාවට බඳුන් වේ. එහෙත් මෙම කරුණු සම්බන්ධයෙන් සෑම පුරවැසියෙකු විසින්ම දැනුවත් භාවයක් ලබා තිබේ ද යන්න සැක සහිතය. විශේෂයෙන්ම ඊයේ මහනුවර පැවති මහජන සභාව සහ සම්මන්ත්‍රණය සඳහා සහභාගි වී සිටි මැදිවියේ සහ මැදිවිය ඉක්මවූ පිරිස මෙම කාර්යය සඳහා දැඩි උනන්දුවකින් සිය දායකත්වය ලබා දෙන බව දැකගත හැකි වුවද මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලපෑම් තම ජීවිත කාලයේ වැඩි වශයෙන් අත්විඳීමට ලැබෙන තරුණ පරපුර මේ සඳහා දක්වන උනන්දුව ප්‍රමාණවත් ද යන්න ප්‍රශ්නාර්ථයකි. එහිදී එම තරුණ පරපුර අතර අධ්‍යාපන මට්ටම අතින් ඉහළම මට්ටමේ පසුවන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පවා මේ සඳහා දක්වන දායකත්වය කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැත. පෞද්ගලික සරසවිවලට එරෙහිව මේ දිනවල රටපුරා සංවිධානය වන විරෝධතා සඳහා දහස් ගණනින් සහභාගි වන එම විශ්වවිද්‍යාල ප්‍රජාව මෙසේ රටක අනාගතය තීරණය කරනු ලබන කාලීන වශයෙන් අතිශයින් වැදගත් වන්නා වූ ක්‍රියාවලියක් මඟහැර සිටීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි. එබැවින් මෙවැනි ජාතික වැදගත්කමක් ඇති කාර්යයක් සඳහා පෙරමුණ ගැනීම වර්තමාන තරුණ පරපුර සතු ජාතික වගකීමක් වන බව ද අවසාන වශයෙන් අවධාරණය කර සිටිමි.

133 total views, 2 views today

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>