අන්තර්ජංජාලෙ මගේ ජීවිත කතාව හෙවත් බ්ලොග් සහ මම!

නෙළුම් යාය සම්මාන උත්සවෙන් පස්සේ ගොඩක් අය බ්ලොග් ගැන තමන්ට තියෙන අත්දැකීම් එයාලගෙ බ්ලොග්වල ලියලා තිබුණ නිසා මටත් බ්ලොග් ගැන තියෙන අත්දැකීම් මේ විදියට ලියන්න හිතුණා. හැබැයි වෙනදා ලිපි ලියනවා වගේ ශාස්ත්‍රීය ලේඛන ශෛලියකින් නම් නෙමෙයි.  ඒ නිසා මේ සටහන පටන් ගන්න කලින් ඒ ගැනත් පොඩ්ඩක් කියලම ඉන්නම්. හැබැයි ඉතින් දැන් ඕං කියන්න නම් එපා මූ බල්ලා ගැන කියන්න පටන් අරන් බල්ලගේ ඇ‍ඟේ ඉන්න මැක්කා ගැන කතා කරන්න ගිහින් පෝස්ටුව පටන් ගද්දිම නාගන්න හදනවා කියලා. මේ කතාවත් මුලදිම කියල වැඩේ පටන් ගත්තම මේ වැඩේ ගැන ආයෙ ඉතින් අඩුවක් නෑනෙ කියලා හිතුණ නිසා ඒකත් ඉතින් කියලම ඉන්නම්.

බ්ලොග් ගැන තමන්ගෙ අත්දැකීම් ලියනවා වගේ බොහොම නිදහස් කාරණයක් මං වෙනදා ලියනවා වගේ ශාස්ත්‍රීය ලේඛන ශෛලියෙන් ලියන්න ගියොත් ඒ ලියවිල්ලෙ තියෙන රහත් ගැම්මත් දෙකම නැතිවෙනවා. ඒ නිසා මීට කලින් මගේ ලිපි කියවලා අදහස් දක්වලා තියෙන අයටත් වෙනස් අත්දැකීමක් දැනෙන විදිහටයි මටත් මේක වෙනස් අත්දැකීමක් වෙන හින්දයි මේ විදිහට නිදහස් ශෛලියකින් මං මේ බ්ලොග් පෝස්ටුව ලියන්න හිතුවා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනෙ. ලේඛකයෙක් වුණාම (මං මේ කියන්නෙ බ්ලොග් පෝස්ට් කුරුටු ගෑවට පොතක් දෙකක් ලිව්වට මං මහා ලොකු ලේඛකයෙක් කියලා නම් නෙමේ. ඒ නිසා මේ අදහස බ්ලොග් කියවන ඇත්තො වැරදියට ගන්නෙ නැත්තම් හොඳා…)  එක ලේඛන ශෛලියකට විතරක් කොටු වෙනනෙ නැතිව වෙනස් වෙනස් විධිවල ලේඛන ශෛලින් වලින් ලියන්නත් හැකියාව තියෙන එක වැදගත් වෙන නිසා මේ සටහන මේ විදිහට ලියන්න පටන් ගත්තා. මේ විදිහට ලියන මේ පෝස්ටුවලට මං නමක් දැම්මා “හිතුවක්කාර සිතුවිලි” කියලා. ආ…… ඒ එක්කම මේකත් කියන්න ඕනෙ. කවුරු හරි ඇත්තෙක් මේ නමට ට්‍රේඩ් මාක් ඇරන් තියෙනවා නම් ඒක මට දන්වනවා හොඳා, මොකද උසාවි ගානෙ රස්තියාදු වෙවී නම් වලට අයිතිවාසිකම් කියන්න ඕනෙ නෑනෙ. ඒ නිසා මේ නම මගෙ කියලා කවුරු හරි කිව්වොත් කියලා මං වෙන නමක් හොයා ගන්නම්. කොහොමින් කොහොම හරි මේ අතුරු කතා අස්සෙ කියන්න පටන් ගත්ත කතාවත් තව පොඩ්ඩෙන් මග ඇරෙන නිසා ඒ කතාව දැන් පටන් ගන්නම්. කතාව පටන් ගන්නකන් නිදි කිරකිරා හිටපු එවුන් දැන් ඇහෙරෙනවා හොඳා.

මං දැන් කොරගෙන යන ඉරංග නෙට් එහෙමත් නැත්තම් එදා සම්මාන උත්සවේදි නදී අක්කා වෝටර්ස් ඒජ් එකේ මුළු ශාලාවම දෙදරන්න කෑ ගහලා කියපු නිදහස් සිතුවිලි අවකාශය කියන බ්ලොග් එක මං කරන්න පටන් අරන් අවුරුදු එක හමාරක් වගේ වුණාට බ්ලොග් එක්ක මගේ තියෙන ඇයිහොඳැයිය ඊටත් වඩා ගොඩක් එහාට ගියපු කාලාන්තරයකට දිව යනවා. හරියටම කිව්වොත් මං ඉස්සෙල්ලාම බ්ලොගර් එකවුන්ට් එකක් හැදුවෙ 2006 අවුරුද්දෙදි. ඒක ඇත්තද නැත්තද කියන එක මේ ලින්කුවෙන් (Blogger: User Profile: Suroshana) මගේ බ්ලොගර් ප්‍රොෆයිල් එකට ගිහින් බලා ගන්න පුළුවන්. ඒ අවුරුද්දෙම තමයි තාම මං පාවිච්චි කරන ජීමේල් එකවුන්ට් එකත් හැදුවෙ. සමහරු හිතන්න පුළුවන් ජීමේල් එකවුන්ට් එකකුයි බ්ලොගර් එකවුන්ට් එකකුයි කියලා දෙකක් වෙන වෙනම හදන්නෙ මක්කටෙයි දැන් ඒ දෙකටම යන්න ජීමේල් එකවුන්ට් එකක් විතරක් තිබ්බම ඇතිනෙ කියලා. ඔව් ඇත්ත තමා. අද වෙන කොට බ්ලොගර්, ජීමේල්, යූ ටියුබ් කියන ඒවට ඇතුල් වෙන්න ඒ කියන්නෙ ලොග් වෙන්න එකම ජීමේල් එකවුන්ට් එකෙන් පුළුවන් වුණාට ඒ කාලෙ ඒ කියන්නේ අදින් අවුරුදු 10කට විතර කලින් එහෙම පුළුවන් වුණේ නෑ. ඒ නිසා එක එක සේවාවල් වලට වෙන වෙනමම එකවුන්ට් හදාගන්න ඕන වුණා. මගේ මතකයෙ හැටියට ගූගල් ලොක්කා යූ ටියුබ් එක් සල්ලි දීලා අරන් තිබුණෙ නෑ එතකොට. ඒත් බ්ලොගර් සේවය නම් ගූගල් එකේම වැඩක් වුණාට අද වගේ එක ජීමේල් එකවුන්ට් එකකින් ලොගින් වෙන සිස්ටම් එකට හදලා තිබුණෙ නෑ. ඒ නිසා වෙන වෙනම එකවුන්ට් හදාගන්න ඕනි වුණා.

කොහොමින් කොහොම හරි ඔන්න මාත් ඒ කාලේ බ්ලොගර් එකවුන්ට් එකක් හදා ගත්තා. ඒ හදා ගත්තෙ දැන් මේ අපෙන් පස්සෙ එන පරම්පරාව බ්ලොග් ගැන තියෙන දැනුවත්භාවය වගේ දැනුවත් භාවයක් ඇතුව කියලා කෙබර ඇද බාන්න නම් මට ඕනි නෑ. ඇත්තටම ඒ කාලෙ එහෙම දැනුවත් භාවයක් තිබුණෙ නෑ. ඒ වගේම ඒ කාලෙ බ්ලොග් ගැන කියලා දෙන්න දැනුම් තේරුම් ඇති කෙනෙක් හිටියෙත් නෑ. කොටින්ම කිව්වොත් ඕ ලෙවල් කරන කාලෙදි අපිට උගන්නපු අයි ටී ටීචර්ට වඩා අයි ටී දැනුමක් මටයි මගෙ යාළුවො දෙතුන් දෙනෙකුටයි තිබුණා. ඒ නිසා ලැබ් එකේ කොම්පියුටරේකට මොකක් හරි අලකලංචියක් වුණාම ඒක විසඳලා දෙන්න මායි මගෙ යාළුවොයි ෆ්‍රී පීරියඩ් එකක් බලලා ලැබ් එකට බඩගානකන් අයි ටී ටීච බලන් හිටපු අවස්ථාත් නොතිබුණාම නෙමෙයි.

ඕං ආයෙත් කියන්න පටන් ගත්ත කතාව මග ඇරෙන්න යනවා. ඒත් ඉතින් මේ අතුරු කතාත් කියන්නෙ නැතුව ගියොත් කිසිම රහක් නැති වෙනවනේ. ඒ නිසා ඒ කතා ටිකත් අහගෙන ඉන්න කියලා මේක කියවන ඇත්තොන්ගෙන් බොහොම කාරුණිකව ඉල්ලා හිටිනවා.

මං කලින් කිව්වා වගේම මගෙ හිතේ බ්ලොග් ගැන ආසාවක් මෝදු වුණේ ඒ ගැන දැනුවත්බාවයකින් නම් නමේ. ඒ කියන්නෙ අද කාලෙ බ්ලොග් ලියන කොල්ලො කෙල්ලො වගේ මේක මේ පුරවැසි මාධ්‍යකොරණය වගේ මහා බර වචනත් එක්ක විස්තර කොරන්න පුළුවන් දෙයක් වගේ මහා ලොකු දේවල් ඔළුවේ තියාගෙන නම් නෙමෙයි මං මේ වැඩේට බැස්සෙ. ඇත්තටම කිව්වොත් තිබ්බ කුතුහලය නිසාම තමයි මේවා ගැන හොයන්න බලන්න පුරුදු වුණේ. ඒකත් ඉතින් ලේසි පහසු කාරණයක් වුණේ නෑ. මොකද අද කාලෙ වගේ ස්මාර්ට් ෆෝන්, ලැප්, ඩොන්ගල් වගේ දේවල් ඒ කාලේ මෙහෙම සුලබ වෙලා තිබුණෙ නෑනෙ. ලැප් නම් තිබුණා. ඒත් තිබුණෙ අතමිට යහමින් තිබුණ අය ගාව. අද ගොඩක් ප්‍රසිද්ධ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් නම් ඒ කාලෙ තිබුණෙම නෑ.

මෙන්න මේ වගේ හේතුත් එක්ක ඉන්ටර්නෙට් ගැන හොයන්න බ්ලොග් ගැන හොයන්න මට සිද්ධ වුණේ ඉන්ටර්නෙට් කැෆේ වලට ගිහින්. තනියම නෙමේ. ඉස්සෙල්ලම ගියෙ යාළුවො දෙන්නෙක් එක්ක. එහෙම ගියපු විදිහත් බොහොම රසවත්.

මට මතක විදිහට ඉස්සෙල්ලම මං ඉන්ටර්නෙට් කැෆේ එකකට ගියේ 2004 අවුරුද්දෙදි. ගියේ නුවර තිබුණ කැෆේ එකකට. ඇත්තටම කිව්වොත් යාළුවක්ගෙ ගෙදර යනවා කියලා ගෙදරට බොරුවක් කියලා තමා ගියෙ. පැයකට රුපියල් 60 යි ගාන. අදත් එක්ක බැලුවම මේ ගානෙ නම් ලොකු වෙනසක් වෙලා නෑ. මේ විදිහට ගෙදරට බොරුවක් කියලා ඉස්කෝලෙ ඇරිලා ඉස්සෙල්ලාම කැෆේ එකකට ගිහින් ඉන්ටර්නෙට් පාවිච්චි කළා. ඉස්සෙල්ලාම කළේ කාටුන් පින්තූර ඩවුන්ලෝඩ් කරපු එක. එහෙම ඩවුන්ලෝඩ් කරලා ඩිස්කට් වලට දාගෙන ඇවිල්ලා ගෙදර තිබුණ පෙන්ටියම් ටූ මැෂින් එකේ වෝල් පේපර් එකට දැම්මා මට මතකයි. තව දෙයක් අද කාලෙ කට්ටිය නම් මොනවද මේ ඩිස්කට් කියලා දන්නෙ නෑනෙ. ඒ නිසා ඒ ගැනත් වචනයක් කියන්නම්. ඩිස්කට් කියන්නෙ අපි දැන් පාවිච්චි කරන පෙන් ඩ්‍රයිව්ස් වගේම දත්ත එහා මෙහා ගෙනියන්න පාවිච්චි කරපු දෙයක්. අද නම් එක එක සයිස් වලින් ඒ කියන්නෙ එක එක ගිගා බයිට් ගණන් වලින් ෆෝ ජීබී, එයිට් ජීබී, සික්ස්ටීන් ජීබී වලින් වගේම තර්ටි ටූ ජීබී සික්ස්ටි ෆෝ ජීබී වගේ ලොකු ලොකු සයිස් වලිනුත් පෙන් ඩ්‍රයිව්ස් තියෙනවනෙ. ඒත් ඉතින් ඇහුවොත් පුදුමත් හිතෙයි. ඒ කාලෙ මං මේ කියපු ඩිස්කට් එකක සයිස් එක මෙගා බයිට් දෙකකටත් අඩුයි. හරියටම කිව්වොත් මෙගා බයිට් 1.44 යි. ඒ කියන්නෙ මේ වගේ දහසක ප්‍රමාණයක් තමා ගිගා බයිට් එකක් කියන්නෙ. දැන් තේරෙනවනෙ ඒ කාලේ අපි ගනුදෙනු කරපු විදිහ ගැන. ඔන්න ඉතින් අපේ ගෙදර අස්සක තිබිලා බෙහෙතකට වගේ ඩිස්කට් එකක් හොයා ගන්න පුළුවන් වුණා. මේ පෝස්ටුවත් එක්ක ඒකෙ රූපයකුත් අමුණන්නම්කො. එතකොට මං මේ කියපු කතාව ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්නෙ.

diskette

මේ විදිහට ඉන්ටර්නෙට් කැෆේ යන්න අපි සල්ලි එකතු කර ගත්තෙ ඉස්කෝලෙ යද්දි උදේට තාත්තා දෙන සල්ලි වලින්. එහෙම එකතු කරන් සතියකට එක පාරක් කැෆේ එකකට ගිහින් ඉන්ටර්නෙට් පාවිච්චි කරා. මෙහෙම ගියපු නුවර තිබුණ එක කැෆේ එකක ඉන්ටර්නෙට් පාවිච්චි කරද්දි ගත වෙන වෙලාවයි ඒ වෙලාව යනවත් එක්ක අදාළ මුදලයි පෙන්නන විදිහේ සොෆ්ට්වෙයාර් එකක් දාලා තිබුණා. මායි යාළුවෙකුයි දවසක් දෙකක් මේ කැෆේ එකට ගිහින් ඒ සොෆ්ට්වෙයාර් එක හැක් කරලා අපි කොච්චර වෙලාවක් ඉන්ටර්නෙට් පාවිච්චි කරත් රුපියල් 15 ක් ගාන පෙන්නන විදිහේ ක්‍රමයක් හොයා ගත්තා. ඒ ක්‍රමේට අපි පැය ගණන් ඉදලා රුපියල් 15 ක් දීලා ආපු අවස්ථා තිබුණා. ඇත්තමට එහෙම කරේ ඉන්ටර්නෙට්වලට තිබුණ ආසාවට. කොහොම හරි මේ වැඩේ දිගමට කරන්න බැරි වුණා. මේ වැඩේ ගැන ඇහැ ගහන් හිටපු කැෆේ එකේ අයිතිකාරයා දවසක් මං ඇතුළට ගියපු වෙලාව ලියාගෙන ඉදලා එකසිය ගානක බිලක් මට කිව්වා. මාර වැඩේ මූ වැඩේ දැනගෙන කොහොම හරි. මට තිබුණ ආසාව වැඩිකමට මගෙ යාළුවටත් ආයෙ එහෙම අඩුගානට එතෙන්ට යන්ට බැරිවුණා. දැන් මේ කැෆේ එක නුවර නෑ. නුවර එටිසලාට් එක දාලා තියෙන්නෙ දැන් එතන. ඕං මං තැනත් ඔන්න කිව්වා. ඒ කාලෙ නුවර ඉන්ටර්නෙට් කැෆේ ගියපු එකෙක් ඉන්නවා නම් මතක් කරලා බැලුවොත් හොඳා මං මේ කියපු තැන මතකද කියලා. ඔන්න ඒ විදියට ඉන්ටර්නෙට්වලට තිබුණ ආසාව නිසාම පොඩි පොඩි අකරතැබ්බවලටත් මුහුණ දුන්නා.

ආයෙත් මං එහෙනම් කාරණාවට බහින්නම්. ඒ කියන්නෙ බ්ලොග් ගැන කාරණාවට. 2006 දී බ්ලොගර් එකවුන්ට් එකක් හදාගෙන ඉස්සෙල්ලාම මං හදපු බ්ලොග් එක තමා සුරෝඉරංග ඩොට් බ්ලොග්ස්පොට් ඩොඩ් කොම් කියන බ්ලොග් එක. ඇත්තටම මට ඕනෙ වුණේ මගෙ විස්තර තියෙන වෙබ් පේජ් එකක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා දකින්න. ඒ ආසාවට තමා ඒක හැදුවෙ. මං ඒකෙ මගෙ ෆොටෝ එකකුයි තව එක එක විස්තරයි මං එඩිට් කරපු ෆොටෝ වගේකුයි එහෙම දාලා තිබුණා. ඒ වගේම තව දෙයක්. මගෙ ඕ ලෙවල් විභාග අංකෙත් ඒකෙ දාලා තිබුණා. ඒ දාලා තිබුණ දේවල් එක එක කාල වලදී ඩිලීට් කරා. ඒ නිසා දැන් නම් ඒ බ්ලොග් එකේ මොකුත් නැහැ. ඒත් මගෙ බ්ලොගර් ප්‍රොෆයිල් එකට ගියොත් නම් 2007 දි එහෙම මං එක එක හේතුවලට හදපු බ්ලොග් දෙක තුනක් තියෙනවා. එහෙම මං හදපු එකක් තමා මං ඒ ලෙවල් වලට ගියපු නුවර විද්‍යාර්ථ ඉස්කෝලෙ අපි සංවිධානය කරපු සයන්ස් ඩේ එකට හදපු බ්ලොග් එක. බ්ලොග් එකක් කිව්වට ඒකේ ලියලා තියෙන්නෙ එක වාක්‍යයක් හෝ දෙකක්. කොහොම වුණත් ඒ කාලෙ කරපු ඒවා දැන් දකිනකොට ඒවා ගොඩක් වටින සිහිවටන වගේ. තව දෙයක් ඉස්කෝලෙදි සයන්ස් කරලා ආර්ට් වලින් මං කැම්පස් ආවෙ කොහොමද කියලා මං ගැන බාගෙට දන්න කෙනෙක් එහෙම ඉන්නවා නම් ඒ කතාව පස්සෙ දවසක හිතුවක්කාර සිතුවිලි වලට ලියන්නම්. මොකද මේක අස්සෙම ඒ කතාවත් ගැහුවොත් ලබු කැටේ අස්සේ තොවිලේ වගේ වෙනවනෙ.

මෙහෙම ආසාවට බ්ලොග් හැදුවත් ඉන්ටර්නෙට් ගැන හොයන්න වෙබ් සයිට් හදන්න තිබුණ ආසාව අඩුවුණේ නැති නිසා මායි මගෙ යාළුවෙකුයි එකතු වෙලා 2009 අවුරුද්දෙදි ශ්‍රී හට් කියලා වෙබ් සයිට් එකක් පටන් ගත්තා. කොහොම වුණත් අමාරුවෙන් යාළුවයි මායි රුපියල් තුන්දාස් හයසීයක ප්‍රාග් ධනයක් එකතු කරලා පටන් ගත්ත ශ්‍රී හට් වෙබ් සයිට් එකේ ආයුෂ තිබුණෙ අවුරුද්දයි. ඒත් ඒ අවුරුද්දෙදි වෙබ් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා අපේම උත්සහයෙන්. සමහර අයියලා දේව රහස් වගේ රැකපු වෙබ් ගැන ට්‍රික්ස් අපි ඉගෙන ගත්තා. ඒ වගේම ඒ දේවල්වලට අපිට උදව් කරපු දෙතුන් දෙනෙක් හිටියා කියලත් කියන්න ඕනෙ.

කොහොම හරි වෙබ් එක පටන් අරන් අවුරුද්දක් වගේ ගත වෙද්දි කැම්පස් යන ආසාවක් මගේ හිතට ආපු හින්දයි මගෙ යාළුවට ජොබ් එකක් හොයා ගන්න කියලා ගෙදරින් ආපු ප්‍රෙෂර් එක එහෙමත් නිසා මේ වෙබ් වැඩේ අපිට මඟ ඇරුණා. නෑ අපිට නෙමෙයි මට. මගෙ යාළුවා නම් අයි ටී සම්බන්ධ ජොබ් වලට ගියපු නිසා වෙබ් සයිට් හැදුවා. ඒත් ඉතින් මං ආයෙ මේ වැඩේට එන්ටර් වෙන්නෙ 2013 දී කොළඹ කැම්පස් එකේ ශ්‍රී පාලි මණ්ඩපයට පය තිබ්බට පස්සෙ. කියන්න අමතක වුණා. 2009 දි වෙබ් ගැන ඉගෙන ගන්න නුවර ක්ලාස් එකකට ගියාට පස්සේ ඒ කෝස් එක ඉවර වෙලා මගෙන් පස්සෙ ඒ කෝස් එක කරන්ට එතෙන්ට ආපු ළමයින්ට ක්ලාස් එක කරන්න කියලා මට භාර දුන්නා. ඒ කියන්නෙ වෙබ් ඩිවලොපින් ගැන ලෙක්චර් පෝස්ට් එකකුත් හම්බුණා. ඒකෙන් ඒ කාලෙ හැටියට මට ලොකු ගාණකුත් ලැබුණා.

කොහොම හරි 2013 දී කැම්පස් ආවට පස්සේ කැම්පස් එකේ සර් කෙනෙකුටයි රිසර්ච් යුනිට් එකටයි වෙබ් සයිට් එකක් හදන්න මට හම්බුණා. ඒ අතරෙ විවිධ දේවල් ගැන ෆේස්බුක් එකේ මං ලිය ලියා හිටපු නිසා මගේම බ්ලොග් එකක් කරොත් හොඳයි කියලා හිතුණා. අන්න ඒ විදියට තමයි ඉරංග නෙට් කියන බ්ලොග් එක 2015 අවුරුද්දෙ සැප්තැම්බර් 30 වෙනිදා කලඑළි බහින්නෙ. ලියන්ට තිබුණ ආසාවයි වෙබ්වලටයි ඉන්ටර්නෙට්වලටයි තිබුණ ආසාවයි නිසා තමා ඒ වැඩේ සිද්ධ වෙන්න. මේ වැඩේට සම්මාන හම්බෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නැතත් මට නම් ඒ සම්මානය මහමෙරක් තරම් වටිනවා. මොකද ඒ සම්මානෙ ඇතුළෙ තියෙන්නෙ අවුරුදු ගාණක් කාපු කට්ටවල් වල ප්‍රතිඵලය නිසා.

ඔන්න එහෙනම් බ්ලොග් ගැන මගේ කතාව මං හැමෝටම දැන ගන්න අද මගේ බ්ලොග් එකේ ලිව්වා.  අර මෙච්චරකල් කාටවත් නොකියපු සමහර චාටර් වෙච්ච සීන් එහෙමත් මේකෙ ලියපු නිසා මගේ ඒ බොක්කෙ යාළුවො ඇයි බන් මේවා ලිව්වෙ කියලා අහයිද දන්නෙත් නෑ. කමක් නෑ මං ඒ දේවල් කිව්වෙ ඕනම දේකට ආසාවක් තියෙනවා නම් ඒ දේවල් වලින් ජීවිතේ සාර්ථක කර ගන්න පුළුවන් කියලා කියන්න ඕනි කමට. එහෙනම් අද හිතුවක්කාර සිතුවිලි වලට ලියපු පළවෙනි පෝස්ටුව මෙතනින් නවත්තන්නම්.

කියවපු හැමෝටම ස්තූතියි…!

ඊළඟ පෝස්ටුවෙන් හම්බෙමු…!

Comments

comments

10 comments

  1. ඉරංගගේ ලියවිල්ල බොහෝ රසවත්. අතුරු කතා කියවෙන එක මගෙ අතිනුත් වෙනවා. ඒත් ඒකෙත් ගතියක් තියෙනවා නේද ?

    • ඔව් අයියා අනිවාරයෙන්ම. අලි ගැන කතාව ලස්සන වෙන්න නම් කැලේ ගැනත් කතා කරන්නම ඕනෙ.

    • ඔව් බන්. ඔන්න අපි කාපු කට්ටවල් ගැන පළවෙනි වතාවට ප්‍රසිද්ධ මාධ්‍යයක ලිව්වා.

      • නියමයි. දැන් තාක්ෂණය දියුනුයි අපේ පොඩි කාලෙට වඩා, නමුත් ඔළු මොට වෙලා කටු නැති නිසා

        • ඔව් බන්. ඒත් කොච්චර තාක්ෂණය දියුණු වුණත් ඉස්සර අපි හෙව්වා වගේ මේ දේවල් ගැන දැන් ඉන්න පරම්පරාව හොයන්නෙ නෑ. බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නෙ ඉන්ටර්නෙට් කියන්නේ ෆේස්බුක් විතරයි කියලා.

  2. Mamat blogging start kale 2006di kiyala mataka. Mulinma english ekak haduwe. Passe sinhala walata maru une. Hariyatama kale mataka na.
    Ekale tibbane Sinhala Bloggers’ Union eka. Oya ekata set une nadda?
    Good luck.

    • නෑ මම ඒ කාලෙ නම් සෙට් වෙලා හිටියේ නෑ. මේ යූනියන් එක දැනුත් තියෙනවද? ඒකට සෙට් වෙන්නෙ කොහොමද?

Please comment using your facebook account.