“ජීවිතයේ අනිත් පැත්ත” හෙවත් සමාජ විද්‍යාත්මක නවකථාකරණයේ ලාංකීය ප්‍රවේශය…

මෙතෙක් කල් ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු, ශාස්ත්‍රීය ග්‍රන්ථ රචකයෙකු හා ශාස්ත්‍රීය ලිපි ලියන්නෙකු ලෙස අප විසින් හඳුනාගෙන සිටි ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් මහතා ඔහුගේ ප්‍රථම නවකථාව රචනා කරමින් දැන් නවකථාකරුවෙක් ලෙස සමාජගත වෙමින් සිටියි. ඒ ඔහු විසින් රචිත “ජීවිතයේ අනිත් පැත්ත” නම් සිය කුළුඳුල් නවකථාව සමඟිනි. කෙසේ වුවත් මෙය හුදු නවකථාවක්වත් ආත්ම ප්‍රකාශනයක්වත් නොවේ. ලාංකීය නවකථා වංශකථාව තුළ මෙය සංධිස්ථානයකි. එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වශයෙන් සිය අධ්‍යයන ක්ෂේත්‍රය හා මෙතෙක් කාලයක් පුරා සිය ශාස්ත්‍රීය හා සමාජීය ජීවිතය තුළ ලැබූ අත්දැකීම් වල සාරය පිරි ලේඛනයකි. එබැවින් එහි අඩංගු වන්නා වූ සුවිශේෂිතා මෙන්ම එය ඔබ කියවිය යුතුම නවකථාවක් වන්නේ මන්දැයි මෙසේ සටහන් තබමි.

සයිමන් නවගත්තේගමයන්ගේ “මීනා” නවකථාවේ පටන් නවකථා ලියැවුණු ඉතිහාසයක් අපට තිබේ. මාර්ටින් වික්‍රමසිංහ, පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා ආදී වූ නවකථා කී සැණින් අපේ මතකයට නැගෙන කතුවරුත් ඉන් මෙහාට පැමිණි කල කරුණාසේන ජයලත් ආදීන් හා මෑත කාලයේ ඔළුවට නොව හදවතට කථා ලියන සුජීව ප්‍රසන්න ආරච්චි ප්‍රමුඛ මල් කථාකරුවනුත් මේ අතරමැදි ශෛලියකින් හා කැරලිකාර වදනින් පෙරළිකාර අදහස් නවකථාවට මුසු කරන සන්නස්ගලයනුත් ඇතුළුව එකී මෙකී නොකී දහස් ගණනක් නවකථාකරුවන්ගේ දහස් ගණනක් නවකථා අපේ සාහිත්‍යයට ජාතක වී තිබේ. නමුත් ශ්‍රී රන්ජන් මහතාගේ මෙම “ජීවිතයේ අනිත් පැත්ත” නම් නවකථාව මේ කිසිදු ආරක් නොගත් අමුතුම තාලයේ එකකි. තවත් විදිහකින් කියන්නේ නම් බැලූ බැල්මට නවකථාවකුත් නොවන කෙටිකථාවකුත් නොවන වෙනත්ම ආකාරයේ එකකි. එය කියවා කිසිවෙකුට එය නවකථාවක් නොවේ යැයි තර්ක කළ හැක. තවකෙකුට එය බණ පොතක් විදිහට පෙනිය හැක. එහෙමත් නැතිනම් වෙනත් ආකාරයක ලේඛනයක් යැයි මෙය හංවඩු ගැසීමටද පුළුවන. එය පාඨකයාගේ අයිතියකි. නමුත් මෙහි සැබෑ හැඳුනුම්පත වන්නේ ඉන් එකක්වත් නොව ලංකාවේ අය නම් අහලාවත් නැති “සමාජ විද්‍යාත්මක නවකථාවක්” නම් වූ වර්ගයකි. එනිසාය මා මුලින්ම මෙය අමුතුම තාලේ නවකථාවක් යැයි කිව්වේ.

ශ්‍රී රන්ජන් මහතාගේ අධ්‍යයන ක්ෂේත්‍රය වන්නේ සමාජ විද්‍යාවයි. එබැවින් සමාජ විද්‍යාත්මක දෘෂ්ඨි කෝණයෙන් ඔහු විසින් නවකථාවක් ලියා සමාජයට දායාද කොට තිබේ යන්න මෙම උත්සහයට ලබා දිය හැකි සරලම අර්ථයයි. සැබැවින්ම එය එසේය. ඔහු දන්නා සමාජ විද්‍යාවෙන් නවකථාවක් ලියා අපට මුණගැසෙන ජීවිතය, එහි චරිත, බාධක කම්කටොළු ඔහුගේ දෘෂ්ඨි කෝණයෙන් ලියා තිබේ. එහෙයින් මෙය කියවන්නා එක් පැත්තකින් ජීවිතය සමාජ විද්‍යාත්මකව දකින්නට උත්සහ ගනී. අනෙක් පසින් සමාජ විද්‍යාවට ජීවිතය මුහු කරගෙන ජීවිතයේ අමුතු හැඩයක්, නව සුන්දරත්වයක් දකින්නට උත්සහ කරයි. ඒ කවර ආකාරයකට මෙම කථාව කියවන්නට උත්සහ කළත් එහි වරදක් නැත.

මෙහි කථාව ගොඩනැගෙන්නේ ජීවිතයේ අර්බුද හමුවේ උඩුගම් බලා යාමට වෙරදරන ඩේසි නම් තරුණියක් වටාය. පියාගේ බේබදුකම හමුවේ තැලෙන පොඩිවෙන මවගේ සහ ඇගේ ජීවිත වල ඉරණම, ග්‍රාම්‍ය සංස්කෘතියේ පීඩිතයන්ගේ ඛේදවාචකය ආදී වූ සමාජයේ පහළ ස්ථරයේ මිනිසුන්ගේ දුක, කඳුළ පිරි ජීවිත වලට සතුට පතා පෙරුම් පුරන, පන්සලට දානෙ දෙන, සිහිනෙන් පවා නිවන් පතන ජීවිත ගැන කියන කථාවක් කතුවරයා මෙහි වස්තු බීජය ලෙස තෝරාගෙන තිබේ. එම වස්තු බීජය කතුවරයා විසින් ඔප මට්ටම් කරන්නේ සමාජ විද්‍යාව හා බුදු දහම පදනම් කර ගත් චින්තනය තුළින් එම වස්තු බීජය පෝෂණය කරමිනි. එනිසා මෙහි කථාව පමණක් ව්‍යුත්පන්න කර ගත් අයෙකුට මෙය නවකථාවක් ලෙසත් එහි සමාජ විද්‍යාත්මක කරුණු තෝරා බේරා ගත් අයෙකුට එය ශාස්ත්‍රීය ලේඛනයක් ලෙසත් මෙහි ආගමික කරුණු වෙන්කර ගත් අයෙකුට මෙය බණ කථාවක් ලෙසත් රස විඳිය හැක. කතුවරයා එම ආකාර තුනටම පාඨක මනස විවර කරයි. එබැවින් මෙය තනි නවකථාවක් ලෙස පෙණුනත් ඇත්තෙන්ම මෙය ආකාර තුනක රචනා ත්‍රිත්වයක සංකලනයකි. එබැවිනි මෙය හුදෙක්ම නවකථාවක් පමණක් ම නොවන්නේ.

මෙය ලියූ කතුවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන නිසාත් මෙය ලියන මාත් සරසවි විද්‍යාර්ථියෙකු වන නිසාත් සරසවි වලට සම්බන්ධ වන තවත් කාරණාවක් උපුටා දැක්විය යුතු යැයි සිතේ. එය නම් සරසවි ජීවිතය, නවකවධය යනාදී වූ කාරණා පිළිබඳ කතුවරයා දක්වන ආකල්පයයි. එහිදී ගමක ගැහැණු ළමයෙක් සරසවියට පිවිසි පසු මුහුණ දෙන අභියෝග, ඇයට ආගන්තුක ලිංගික ජීවිතය හා විශේෂයෙන්ම නවකවධය ලෙස සමාජය විසින් ගැරහීමට ලක්කරන මානසික හා කායික පීඩනය පිළිබඳ සමාජ මතය කතුවරයා මෙහි එන ඩේසි නම් තරුණියගේ අත්දැකීම් තුළින් ප්‍රතිසමාජගත කිරීමක් සිදු කරයි. එම කතුවර මතය තුළින් සරසවි ආචාර්යවරයෙකු ලෙස නවකවධය සම්බන්ධව ඔහුගේ වන ආකල්පය සමාජය අතරට ගෙන යාමක් ලෙසද මෙය හඳුන්වා දීම වැරදි නොවන බව සිතේ.

කෙසේ වුවත් මෙය බුද්ධියට කරන ආමන්ත්‍රණයකි. එබැවින් ඕනෑම වර්ගයක පාඨකයෙකුට මෙය කියවා රස විඳිය හැක. සමාජ විද්‍යාත්මකව ජීවිතය දකින්නටත් ආධ්‍යාත්මිකව ජීවිතය ආලෝකමත් කරගන්නටත් ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් මහතාගේ මෙම ප්‍රයත්නය වැදගත් වන්නේ එහෙයිනි. ඒකාකාරී නවකථා කියවීමෙන් හෙම්බත්ව සිටින පාඨක සැමට වෙනස් ආකාරයක උසස් රස වින්දනයක් උදෙසා මෙම නවකථාව කියවීමට ඇරයුම් කර සිටිමි.

(2015 පෙබ. 12 වන දින පළ විය)

Comments

comments