විස්සයි විස්ස මැච් එකේදී පත්තු වුණ මොරටු කැම්පස් කොල්ලන්ගෙ ටිකිරි මොළේ…!

දැනට සතියකට විතර කලින් ඉස්සිස්සල්ලාම හිතුවක්කාර සිතුවිලි කියලා ලියන්න පටන් ගත්ත මගේ මේ ලිපි වල දෙවෙනි ලිපිය ඕං දැන් මං ලියන්නයි කල්පනාව. ඇත්තටම හිතුවක්කාර සිතුවිලි වල පළවෙනි ලිපියට මං හිතුවටත් වඩා ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම ඉක්මනින් දෙවෙනි ලිපියත් ලියන්න කියලා හිතන් හිටියත් එක එක වැඩත් එක්ක ඒ වැඩේ බැරිවුණා. අද තමා ඕං ඒකට වෙලාවක් කාරිය හම්බවුණේ. කාලය රත්තරං කියන නිසා හිත හිතා ඉන්නෙ නැතුව ඕං මං වැඩේට බැස්සා. හැබැයි අද මං මේ ලියන්න හදන්නෙ මං ගැන නම් නෙමේ. පහුගිය සතියෙ මගෙ හිතේ පැළපදියම් වුණ, බ්ලොග් එකේ ලියන්න ඕනෙමයි කියලා හිතේ තියන් හිටපු කාරණයක් ගැන තමයි අද මේ ලියන්න හදන්නෙ.

මේක පටන් ගද්දිම දෙයක් කියලම පටන් ගන්න ඕනෙ. මේක කියවලා සමහරු මට පලු යන්න බණින්නත් පුළුවන්. ඒ වගේම සමහරු මේ ගැන හොඳ කතා කරන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඒ ඕනම ප්‍රතිචාරයක් බාරගන්න සූදානමෙන් තමා මං මේක ලියන්නෙ. කොහොමත් යකාට බය නැත්තම් සොහොනෙ ගෙවල් හදන්නේ අහවල් දේකටද කියලත් කතාවක් තියෙනවනෙ. ඒ වගේ තමා මාත්. ලියන්න කියන්න දෙයක් තියෙනවා නම් ආයෙ ඉතින් හැංගි මුත්තො කරන්න බලන් ලියන්නෙ නෑ. අවංකවම හිතට දැනෙන, හරියි කියලා බොක්කටම දැනෙන දේ ලියනවා. ඒ වෙනුවෙන් පෙනී හිටිනවා.

ඒ වගේම තව දෙයක්. මං පහුගිය දවස්වල මාලඹේ ප්‍රයිවට් කැම්පස් එක අපිට අවශ්‍යයි කියලා ලිපි ගණනාවක් ලිව්වනෙ. ඒවා කියවලා දවසක් මගෙන් යාළුවෙක් ඇහුවා “ඈ බන් උඹට නෙවිල් මහත්තයා කීයක් දුන්නද මෙහෙම ණයට කහින්න කියලා….” . ඉතින් මං කියාපි අනේ නෙවිල් මහත්තයා නම් මට සතයක්වත් දුන්නෙ නැතෙයි ඒත් ඇත්තටම කවුරු කොහොම කිව්වත් මෙඩිකල් ඉගෙන ගන්න නම් ප්‍රයිවට් කැම්පස් එකක් අපිට ඕනෙමයි කියලා. ඒ කතාව අස්සේ ඕං තවත් කතාවක් මතක් වෙනවා. එදා සම්මාන උත්සවේදි නාලක ගුණවර්ධන මහත්තයත් කිව්වෙ උන්නැහෙගෙන් අයි ටී එන් එකේදි ඇහුවා කියලා බ්ලොග් ලියද්දි ඩොලර් කුට්ටි ගණන් ලැබෙන කතාවක්. උන්නැහේත් එදා කිව්වා වගේ මටත් ඕං කියන්න තියෙන්නේ තියෙනවා නම් ඉතින් දෙන්නකො කියලා තමයි. මොකද ඩේටාවලට වුණත් විය පැහැදම් කර ගන්නේ අපි හරිහම්බ කර ගන්න දේකින් මිසක් ඩොලර් කුට්ටිවලින් නෙවෙයි නොවෑ. ඒ නිසා නෙවිල් මහත්තයට හරි වෙන කිසිම කෙනෙක්ට හරි කඩේ යන්න නම් බ්ලොග් කුරුටු ගාන්නේ නෑ සම්මජ්ජාතියකට ඕං. මේක මේ කොරන්නෙ ලියන්න තියෙන අසාවටම මිසක් අහවල් දේකට නම් නෙමේ. බ්ලොග් ලියන්නො කියන්නෙ එන් ජී ඕ කාරයෝවත් කාටවත් කඩේ යන තුට්ටු දෙකේ වැඩ කරන කට්ටියක්වත් නෙමේ. බෙල්ල ගහලා ගියත් තමන්ගේ මතය කියන කශේරුකාව කෙලින් තියාගෙන වැඩ කරන කට්ටියක් තමා මේ බ්ලොග් ලියන උන්නැහේලා.

අදත් ඕං ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් ගැන කතා කරන්න ගිහින් අතුරු කතාවකුත් ඇදිලා ආවනෙ. සමහරු හිතන්න පුළුවන් මං මේ පුරසාරම් දොඩවනවා කියලා. නෑ එහෙම නෙවෙයි. බ්ලොග් ගැන හාංකවිසියක්වත් නොදන්න සම(හරක්) උන්නැහේලාට උත්තරයක් දෙන්න ඕන නිසයි ඒ කතා ටික කිව්වෙ. එහෙම නැතිව අපි තමා මහා පොරවල් කියන්න නම් නෙමේ.

කොහොමින් කොහොම හරි අදත් ඕං කියන්න පටන් ගත්ත කාරණාව මග ඇරෙන්න යන නිසා කියන්න හදපු කාරණාවට බහින්නම්. මේක එක පැත්තකින් ප්‍රයිවට් මෙඩිකල් කැම්පස් ගැන කතාවක්. ඒ වගේම අනිත් පැත්තෙන් ක්‍රිකට් ගැන කතාවක්. තවත් පැත්තකින් අපේ රටේ රජයේ කම්පස් එකක වීර කොල්ලො සෙට් එකක් ගැන කතාවක්. එහෙනම් ඉතින් ඕං මං මෙහෙම මේ කතාව පටන් ගන්නම්කො.

අපේ මොරටුව කැම්පස් කොල්ලො ටිකක් එකතු වෙලා එයාලගේ ටිකිරි මොළ වලින් දීපු ගේමක් ගැන හැමෝගෙම අවධානය යොමු වුණේ පහුගිය පස් වෙනිදා. ඒ කියන්නේ හතර වෙනිදා තිබ්බ බංගලිදේශ ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් මැච් එකේදි බෝල දැම්මෙ හරි බැට් කරේ හරි නෙවිල් ප්‍රනාන්දුද කියලා හිතෙන විදිහට අපේ කැම්පස් කොල්ලො සෙට් එකක් පොඩි මෝඩ පහේ වැඩක් දැම්මනෙ. මේ ගැන හාංකවිසියක්වත් නොදන්න ඇත්තො ඉන්නවා නම් තේරෙන සිංහලෙන්ම මෙහෙම කියන්නම්කො එහෙනම්.

ඕං ඉතින් ක්‍රිකට් මැච් බලන්න කොල්ලො සෙට් එකක් යද්දි යන්නෙ පොඩි ෆන් එකක් දාලා කෙල්ලෙක් එහෙම ටෝක් කරලා සමහරු කොරනවා වගේ අර මීඩියා වල කොටු දාන බීම පොඩ්ඩක් එහෙම තොල ගාලා ආතල් එකක් අරන් එන්නනෙ. ඒත් ඉතින් එදා මේ මැච් එක බලන්න ගිහින් හිටපු ටිකිරි මොළ තියෙන කැම්පස් කොල්ලො නම් ගිහින් හිටියෙ මැච් එකක් බලන්න වුණත් ඇත්තටම එහෙම කරන්න නම් නෙමෙයි. එයාලා ඇවිත් හිටියෙ අපේ රට ඇතුළෙ තියෙන සමහර ප්‍රශ්න වගේ අපේ රටේ කැම්පස් කොල්ලො කෙල්ලොන්ට තියෙන මහා බරපතළම පුරස්නෙ වන නෙවිල් මහත්තයගෙ සයිටම් කැම්පස් එක වහලා දෙන්ට කියලා ජාත්‍යන්තරෙන් ඉල්ලන්නනෙ ඕං. ඇබොලිෂ් සයිටම් ඒ කියන්නෙ සයිටම් අහෝසි කරන්න කියලා ලියලා තියෙන කළුපාට ටී ෂර්ට් ඇඳගෙන, එක එක විකාර ලියලා තියෙන කාඩ් බෝඩ්  උස්සගෙන වෙස්මූණු දාගෙන ඇවිත් මෙයාලගේ ටිකිරි මොළේ තරම මෙයාලා මුළු ලෝකෙටම පෙන්නුවා. අපේ ක්‍රිකට් ගහන කොල්ලො ටික බොහොම වෙහෙසක් දරලා අපේ පුංචි රට ලෝකේ මුදුනින්ම තියන්න ට්‍රයි කරද්දි මහා උගත්තු කියලා හිතන් ඉන්න කැම්පස් කොල්ලො කුරුට්ටෝ ටිකක් උන්ගෙ අසමජ්ජාතිකම මෙහෙම ලෝකෙටම පෙන්නුවා. අනේ මුන්ගෙ උගත්කමේ තරම!

කොහොමින් කොහොම හරි ටිකිරි මොළෙන් දීපු මේ ගේම පහුවෙනිදා වෙද්දි පත්තු වුණා. පත්තු වුණා කියලා දැන ගත්තම අපේ ඒ ගේම දුන්න වීර කොල්ලො සෙට් එකට නම් මාරම චූන් එකක් දැනෙන්න ඇති. ඇයි අප්පා මෙච්චර දවස් පාරවල් ගානේ පිකට් කරලා අනාගත පරම්පරාව වෙනුවෙන් කියලා කඳුළු ගෑස් කනකොට පපුවට දැනෙන මහා ලොකු ආඩම්බරය වගේද අප්පා මේ වැඩේ.  නෑනෙ. මොකද මේක ජාත්‍යන්තරයම හෙල්ලෙන වැඩක් නොවෑ. ඕං අනේ අපේ එවුන් හිතපු විදිහ. හැබැයි ඉතින් පහුවෙනිදා වෙද්දි ට්‍රම්ප් මහත්තයා නියෝග කොරේ නම් නැහැ සයිටම් එක වහන්න කියලා. ඒ වගේම යූ එන් එකත් අපේ මේ දුප්පත් රටට දෙන සහන නවත්තලා සම්බාධක පැනෙව්වා කියලා ආරංචියක් නම් තාම ආවෙ නෑ. ඒ කොයිහැටි වෙතත් අපේ රටේ කැම්පස් කොල්ලො සෙට් එකක ටිකිරි මොළේ ගැන නම් මහා ඉහළින් දේශ දේශාන්තරවල කතා කරන්න ඇති.

කොහොමින් කොහොම හරි මේ වැඩේ ගැන නොකියාම බැරි නිසා ඕං ඉතින් ලිව්වා. මේකට සමහරු මට මූණටම බණියි. සමහරු හිතෙන් බණියි. කමක් නෑ ඉතින්…. මොන ප්‍රතිචාරෙ ආවත් බාර ගන්න ලෑස්තියි.

කියවපු හැමෝටම ස්තූතියි…!

ඊළඟ පෝස්ටුවෙන් හම්බෙමු…!

17522895_1960495284170362_4990672795918840428_n 17523060_1960494897503734_6138824643360477340_n 17523326_10206817055903917_8949105165101903836_n 17760203_1960494884170402_2081326995495287728_n 17760218_1960494900837067_5510436179538914649_n 17795996_277694749343592_4887785376093471095_n
17798995_1960537044166186_7943106341493682399_n-1
17799237_1960537107499513_8719605742249184866_n 17800125_1960537070832850_8663232760081348670_n 17800287_1960537054166185_1340753639799827975_n

(පින්තූර ටික ගත්තෙ නෙත් එෆ් එම් ගොසිප් වෙබ් සයිට් එකෙන්)

Comments

comments

5 comments

  1. මේක ඇත්තෙන්ම කැත වැඩක් , මුන්ට සහතික තිබ්බට මොලේ නැහැ . බුධිමතුන් වෙන්න තියා බුධිමතුන්ගේ අහලකටවත් එන්න බැහැ. මේ සෙට් එකම තමා පේරාදෙණියේදී තමන්ට මහපොළ දුන්න ඇතුලත්මුදලි මහත්තයා මැරුවේ. jvp එකට ගෑවුනොත් ඉවරයි. එතන ලොකු මොළ සේදීමක් තියෙනවා,

  2. මාත් එදා මැච් එක බැලුව, මටත් ඕක දැනුනෙ මහ දෙකේ පංතියෙ වැඩක් විදියට. මම බල බල හිටියෙ ජෝන් ඩීන් හරි, ආතර් අලී ඛාන් හරි ඕක ගැන රසල් ආනල්ඩ්ගෙන් අහල ආනල්ඩ්ව අමාරුවෙ දායි කියල හැබැයි ඇහුවෙ නෑ මගෙ හිතේ. එක පාරක් දෙකක් ඇරෙන්න වැඩිය කැමරාව ඒ පැත්තට එල්ලවුණෙත් නෑ. අනිත් කාරණේ ඔය සිද්ධිය වෙනකම්ම මම හිතාගෙන හිටියෙ මොරටුව කැම්පස් එක ඕවට ගෑවෙන්නෙ නෑ කියල. ඉස්සර දුන්නට මින් පස්සෙ කැම්පස්වලින් කැට උස්සං එනකොට සත පහක් දෙන්නෙ නෑ කියල හිතාගෙන ඉන්නෙ.

    • කැට උස්සගෙන හිගා කන්න එන එවුන් ගැන නම් මටත් තියෙන්නෙ පුදුම තරහක්. අරහේ කැම්පස් ඒක තුල විවධ විශයයන් ගැන ලියවුනු සාගරයක් තියෙනවා. එත්කියවන්න කවුරුත් නැතිව ඒවායේ මකුළුදැල් බැදිලා , මගෙන් සල්ලි ඉල්ලන්න එන අයට මම ඒක පෙන්නලා දෙනවා පිස්සු කෙලින්නේ නැතිව ලැබුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගණන කියල.

  3. ජාත්‍යන්තරයේ කන්‍යා පටලය සිඳලූ සයිටම් විරෝධතාව

    1987 දී රජිව් ගාන්ධිට තුවක්කු බඳෙන් තඩි බෑ සේවා නියුක්ත නාවුක සෙබළා විජිත රෝහණ විජයමුණි ය. අද වන විට ඔහු රණවිරුවෙකු ලෙසත් දේශප්‍රේමියෙකු ලෙසත් හඳුන්වනු ලබන්නේ ආරාධිත රාජ්‍යතාන්ත්‍රිකයෙක් හට පහර දීම යනු විරෝධතාවයක ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය නිසාය. එවැනි සිදුවීමක දී ජාත්‍යන්තරය ඉදිරියේ රටේ කීර්ති නාමයට හානි සිදු නොවන්නේ විරෝධය පළ කිරීමේ පිළිගත් ක්‍රමවේදය පොල්ලකින් තඩි බෑම යැයි ජිනීවා සම්මුති වල ඇති නිසාය.

    2010 දී බ්‍රිතාන්‍යයේ ස්ථාවරයට එරෙහිව විරෝධය පළ කරන්නේ විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණය. ඔවුන් ඉංගිරිසි රාජධානියට විරෝධය පළ කිරීමේදී Condemn වෙනුවට Condem කියා ලිවීමෙන් සිදුවන්නේ රජා මැරී පර වී වැටීමය. රැජිණ විලි ලැජ්ජාවෙන් බොස්තොරොක්කය ද ඔසවාගෙන ලන්ඩන් හන්දිය හරහා පැන යාමය. එවැනි විරෝධතා වලින් රටේ කීර්ති නාමයට හානියක් නොවන්නේ ඉංග්‍රීසි භාෂාව ” වහරනු සෙරෙන් සපයා” ලෙස හෝඩිපොතේ පවසා ඇති නිසාය.

    1968 මෙක්සිකෝ උළෙලේ මීටර 200 ඉසව්වේ ජයග්‍රහණය කළේ කළු ඇමරිකානුවන් දෙදෙනෙකි.ටොරී ස්මිත් සහ ජෝන් කාර්ලෝස් පදක්කම් පුවරුව මත හිඳ කළු අත් වැසුම් පැළඳි අත් ඔසවා විරෝධය පළ කළහ. ඒ ඔලිම්පික් උළෙල අරභයා නොව තම උපන්බිමේ කළු ජාතිකයින්ට දක්වන අඩු සැලකිල්ල ට එරෙහිවය. එම ඔලිම්පික් උළෙලේම ජිම්නාස්ටික් ඉසව්වේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් වූ චෙකොස්ලෝවැකියාවේ වියෙරා චාස්ලෆ්කා පදක්කම් පුවරුවේ දී තම විරෝධය දියත් කළාය. භූමි ව්‍යාම ඉසව්වේ සහ සමබල දණ්ඩ ඉසව් වල රන් පදක්කම් දිනූ සෝවියට් ක්‍රීඩිකාවන් වෙනුවෙන් සෝවියට් ජාතික ගීය වාදනය වන විට ඇය හිස පහතටත් පැත්තකට ත් හරවා විරෝධය සහ ප්‍රතික්ෂේපය පළ කළා ය. එය ක්‍රීඩාවේ නාමයෙන් දක්වන විරෝධතාවක් නොව දේශපාලනික ප්‍රතික්ෂේපයක් ලෙසය. ඇය පෙනී සිටින්නේ චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කරමින් සිටි සෝවියට් රජයට එරෙහිව ය. 2016 රියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්වේ රිදී පදක්කම් ලාභියා වූයේ ඉතියෝපියාවේ ෆෙයිසා ලිලේසා ය.ඔහු තම තරගය අවසන් කරන්නේ දෑත් හරස් කරමින් විරෝධය දනවන සංඥාවක් පෙන්නුම් කරමිනි. ඔහුගේ විරෝධතාවද ඔලිම්පික් උළෙලට එරෙහිව නොව තම මව්බිමේ දේශපාලනික තීන්දුවකට එරෙහිවය. අඩිස් අබාබා සමෝධායන ව්‍යාපෘතියෙන් අගතියට පත් වන ලිලේසා උපන් ඔරෝමෝ ගෝත්‍රය වෙනුවෙන් ද රජයේ හමුදා විසින් මරා දැමූ හාරසියයකට අධික උද්ඝෝෂකයින් වෙනුවෙන්ද ඔහු තම විරෝධය පළ කරන්නට ඒ අවස්ථාව තෝරා ගන්නේය

    2017 දී ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය පිරිසක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවති ක්‍රිකට් තරගයක් අතරතුර සාමකාමී ව සහ නිර්මාණශීලිව විරෝධතාවක් දියත් කළහ. පොදු ජනතාවගේ දෛනික දිවිපෙවෙතට කිසිදු බාධාවක් නොකරන ඔවුන් ප්‍රවේශපත්‍ර ද රැගෙන පැමිණ කළ විරෝධතාවය පිළිබඳව ඇතමුන්ගෙන් එල්ල වන චෝදනා විසුළුසහගතය. සයිටම් සම්බන්ධව අපගේ පුද්ගලික ස්ථාවරය පවතින්නේ මේ සිසුන්ගේ මතයට ප්‍රතිවිරුද්ධවය. නමුත් මේ අරභයා නැගෙන භවාතීශ විලාප සහ සාම්ප්‍රදායික කෙඳිරිලි නියෝජනය නොකරන නිසා ම මෙසේ පැවසිය යුතු වේ. තවත් එක් මුදල් සූදුවක් පමණක් වන ක්‍රිකට් පිටියක විරෝධතාවක් දැක් වූ පමණින් ජාත්‍යන්තරයේ කන්‍යා පටලය බිඳෙන්නේ නැත. ජාත්‍යන්තරය උපදින්නේ කහ මලකිනි’යි සිතන බොහෝ සුදනන්, තක්කඩි කම දේශප්‍රේමයෙන් වසාගත් විරෝධතා වල සැබෑ හෙළුව දකින්නේ ද නැත.

Please comment using your facebook account.