මීතොටමුල්ලේ කුණු නිසා ඇවිස්සුණ කුණු වුණ සිස්ටම් එකේ කුණු ගඳ

ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මෙන්ම බ්ලොග් අවකාශය ද මේ දිනවල පිරී පවතින්නේ එකම මාතෘකාවක් සම්බන්ධයෙන් වූ අදහස් උදහස්, වාද විවාද හා සංවාද විසංවාද තුළිනි. එය මේ දිනවල මෙරටේ ජනප්‍රියම මාතෘකාව බවට පත්ව ඇති අතර රටේ අනෙකුත් සියලු ප්‍රශ්නද එම මාතෘකාව තුළට සම්බන්ධ කර සාකච්ඡාවට ලක් වෙමින් පවතී. කොටින්ම කිව්වොත් මීතොටමුල්ලේ මෙම කුණු ප්‍රශ්නයත් සමඟ ඇවිස්සී ඇත්තේ මීතොටමුල්ලේ කුණු පමණක් නොවේ. එනම් මීතොටමුල්ලේ කුණුත් සමඟ කුණු නාගත් කුණු ගාගත් පුද්ගලයින්, කුණු වූ ආයතන ගැන කතා මෙන්ම අතීත වර්තමාන කුණු කතාද කරළියට පැමිණ තිබේ. ඒ අනුව සැබෑ ලෙසම මෙසේ දිගහැරෙමින් පවතින්නේ කුණු වුණ සිස්ටම් එක ගැන කුණු කතාය. එබැවින් කුණු පිළිබඳ තබන මෙම සටහන මීතොටමුල්ලේ කුණු ගැන ඇතිවූ කතා නිසා තැබෙන සටහනක් වුවත් මේ කියන්නට හදන්නේ මීතොටමුල්ලේ කුණුත් සමඟ ඇවිස්සුණ කුණු වුණ සිස්ටම් එකේ කුණු ගඳ ගැනය.

kunu

ඉකුත් 14 වන දින මීතොටමුල්ලේ මෙම ඛේදවාචකය  සිදු වීමෙන් පසු ජීවිත ගණනාවක් අහිමි විය. එසේම මෙම සටහන තබන මොහොත වන විටත් කුණු කන්ද අවුස්සමින් අතුරුදහන් වී සිටින පුද්ගලයින්ගේ සිරුරු සොයමින් සිටියි. මෙසේ මීතොටමුල්ලේ ජනතාවට වන්දි ගෙවීමට සිදු වුණේ ඔවුන්ගේ අවාසනාව නිසා පමණක් මුහුණ දීමට සිදුවූ ප්‍රශ්නයකට නොවේ. එය එක පැත්තකින් මුළු මහත් රටේම ප්‍රශ්නයක් මීතොටමුල්ලේදී පුපුරා යාමකි. තවත් අතකින් අවිධිමත් නාගරීකරණය පරිසරයට විඳදරා ගැනීමට නොහැකි තැන සොබාදහම විසින් ලබා දුන් ප්‍රතිචාරයකි. මේ කවර අන්දමට මීතොටමුල්ලේ කුණු ප්‍රශ්නයට විවරණ සැපයිය හැකි වුවත් මෙම කුණු ප්‍රශ්නය විසඳීම නම් පහසු කටයුත්තක් වන්නේ නැත. මන්ද යත් එක එල්ලේ බලන්නෙකුට මීතොටමුල්ලේ කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමට විධිමත් වැඩපිළිවෙලක්  දියත් කිරීමට කටයුතු කිරීම මේ සඳහා ඇති වඩාත් උචිත විසඳුම වශයෙන් යෝජනා කළ හැකි වුවත් මේ කුණු ප්‍රශ්නය එසේ විසඳිය හැකි තරම් සරල කටයුත්තක් නොවේ. එනම් මෙම මීතොටමුල්ලේ කුණු ප්‍රශ්නය තුළ පුපුරා ගොස් ගඳ ගහන්නේ මීතොටමුල්ලේ කුණු පමණක් නොව ඒ නිසා ඇවිස්සුණු මුළු රටේම කුණු ගොඩවල් වන බැවිනි. වෙනත් විදිහකින් කියන්නේ නම් මීතොටමුල්ලේ කුණු ප්‍රශ්නය විසඳීම පමණක් නැවත මෙවැනි කුණු ප්‍රශ්නයක් ඇති වීම සඳහා ප්‍රමණවත් විසඳුමක් නොවන  අතර ඒ සඳහා කුණු වී ඇති මේ සිස්ටම් එක පිරිසිදු කිරීමට ද හැකි පමණින් හෝ උත්සාහ දැරිය යුතුය. මෙම කාරණය තවදුරටත් මෙසේ පැහැදිලි කළ හැකිය.

මීතොටමුල්ලේ මෙම කුණු ප්‍රශ්නයත් සමඟ මේ දිනවල ජනමාධ්‍ය තුළින් දේශපාලකයින්ට බැණ වදින මීතොටමුල්ලේ ජනතාවගේ කෝපය දක්නට ලැබේ. ඒ මෙම කුණු ප්‍රශ්නය විසඳීමට අදාළ ප්‍රදේශය හෝ කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා දේශපාලකයින් කටයුතු නොකළ බැවිනි. එය මෙම කුණු ප්‍රශ්නයේ එක් පැත්තකි. තවද එම තත්ත්වය තුළින් ජනතාවට සේවය කිරීම පසෙක තබා පුද්ගලික සුඛ විහරණය සඳහා දේශපාලනයේ නියැලෙන, තමන් දිනවීමට උදව් කළ ව්‍යාපාරිකයින් ඇතුළු දානපතීන්ට පෙරළා උදව් කිරීමට කටයුතු කරන, රජයේ කොන්ත්‍රාත්වලින් මුදල් ගසා කන හා අල්ලස් ලබා ගැනීම ඇතුළු මේ සියළු කුණු වැඩ ද මෙසේ මීතොටමුල්ල කුණු ප්‍රශ්නයේ එක් කොටසකින් ඈඳී තිබේ. එසේම එවැනි දූෂිත දේශපාලන සංස්කෘතියක් ඇතිවීම සඳහා හේතු වී ඇති වර්තමාන මැතිවරණ ක්‍රමය තුළ  දිස්ත්‍රික්ක පදනමෙන් මන්ත්‍රීවරුන් පත් කිරීමට කටයුතු කිරීම නිසා එම මන්ත්‍රීවරයා සෘජුව මහජනතාවට වග කියන පුද්ගලයෙකු බවට පත් නොවීම සහ විශාල ප්‍රදේශයක තම ඡන්ද ව්‍යාපාරය සිදු කිරීමේ දී දැරීමට සිදුවන අධික වියදම හේතුවෙන් ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ නීතිවිරෝධී ජාවාරම්වල නියැලෙන පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන ජයග්‍රහණය කර පසුව ඔවුන්ට ප්‍රතිඋපකාර කිරීම සඳහා කටයුතු කරන මෙම විෂම චක්‍රය හෙවත් කුණු වී ඇති මැතිවරණ සංස්කෘතියේ කුණු ගඳද මෙම මීතොටමුල්ලේ කුණුත් සමඟ ඇවිස්සී ඇති ප්‍රශ්නයකි.

තවද මෙම කුණු ප්‍රශ්නයත් සමඟ විවිධ පාලකයින් විසින් මෙම කුණු ප්‍රශ්නයට විවිධ කාලවලදී ගෙන ආ විසඳුම් සහ ඇතැම් පුද්ගලයින් විසින් ගෙන ආ විසඳුම්වලට මන්ත්‍රීවරු ඇතුළු දේශපාලකයින්ම හෝ ඔවුන්ගේ උදව් ලබන කොන්ත්‍රාත්කරුවන් විසින් විරුද්ධ වීම වැනි කාරණාත් මෙම මීතොටමුල්ලේ කුණු සමඟ ඇවිස්සී ඇති තවත් කුණු ගොඩකි. එක් පිරිසක් අහවල් පාලකයා අහවල් කාලයේ දී බලයේ ඉන්නා විට මේ කුණු ප්‍රශ්නය විසඳීමට ගෙන ආ යෝජනාව ක්‍රියාත්මක කළා නම් මෙවැනි ඛේදවාචකයක් ඇති නොවන බව පවසමින් මීතොටමුල්ලේ ජනතාවගේ සෝ සුසුම් හා කුණු කන්දට වැළලී ගිය ඒ අසරණ ජනතාවගේ මළමීනී මතින් තමන්ගේ පිලට ලකුණු දමා ගැනීමට උත්සාහ කරමින් සිටිති. ඇතමුන් මෙම කුණු ප්‍රශ්නයේ ඉතිහාසය ගෙනහැර දක්වමින් එය අයත් නගර සභාවේ බලය තිබූ පක්ෂය කුණු ප්‍රශ්නය විසඳුවේ නැත්තේ මන්දැයි විමසා සිටියි. මේ අතර මීතොටමුල්ලට කුණු බැහැර කිරීම සඳහා කොන්ත්‍රාත් ලබා දී ඇති දේශපාලකයින්ගේ හිතවතුන් ගැන කතා ද බුකියේ පැතිරෙමින් පවතින අතර ඒ අනුව පෙනී යන්නේ මෙම මීතොටමුල්ලේ කුණු ප්‍රශ්නයත් සමඟ කුණු හත්පොළේ ගෑවී ඇති බවය.

මේ අතර මීතොටමුල්ල නම ඇසෙද්දී පවා නහය හකුළුවා ගත් අතිසුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටි දේශපාලකයෝ දැන් කිසිදු පැකිලීමක් හෝ ලජ්ජාවක් නොමැතිව වහා වහා මීතොටමුල්ලට පැමිණ මෙම කුණු ප්‍රශ්නය ඉක්මනින් විසඳන බව පෙන්වමින්, ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ආදිය ගැන සාකච්ඡා පවත්වති.  මාධ්‍ය ඔස්සේ ද ඒවා හෙඩ්ලයින්වල දමා මහා ඉහළින් රට පුරා ප්‍රචාරය කරමින් සිටියි. මේ මාධ්‍ය සංදර්ශන සහ දේශපාලකයින්ගේ මෙම අවස්ථාවාදී රංගනයන් ද මීතොටමුල්ලේ කුණු වලට වඩා ගඳගසනා අපේ කුණු වී ඇති සිස්ටම් එකේ ගූ වැඩය.

කෙසේ වෙතත් මේ සියලු කුණු වැඩ හා කුණු කතා අතර තවමත් කුණු වී නැති අපේ රටේ මිනිසුන්ගේ පරිත්‍යාගශීලිත්වය ගැනද වචනයක් සඳහන් කළ යුතුය. එනම් සුනාමියේදී, ගංවතුරකදී මෙන්ම නියං තත්ත්වයකදී ද පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමට සිය සහෝදරත්වයේ දෑත් දිගු කළා මෙන් මෙම මීතොටමුල්ලේ ජනතාවට සහන සැලසීමට ද සතර දිග් භාගයේ සිටින අපේ රටේ ජනතාව මේ මොහොතේදීත් යුහුසුළුව කටයුතු කරමින් සිටියි. අසරණ වී සිටින ජනතාවට අවශ්‍ය දේවල් පිළිබඳ දැනුවත් කරමින් වහ වහා ඒවා රැස් කරමින් මීතොටමුල්ලේ ජනතාව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඔවුන් විසින් සිදු කරන්නේ මීතොටමුල්ලේ සහෝදර ජනතාව තනි වී නොමැති බව පසක් කරමිනි.

ඒ අනුව අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ මීතොටමුල්ලේ මෙම කුණු කන්දේ නායයාමත් සමඟ ඇවිස්සී ඇත්තේ මීතොටමුල්ලේ කුණු පමණක් නොවන බවය. එනම් මෙම කුණු ප්‍රශ්නය කියා පාන්නේ සමස්ත සිස්ටම් එකම කුණුවී ඇති මොහොතක තවත් එක් ඛේදවාචයක් පමණි. එය කිසිසේත් මීතොටමුල්ලේ කුණු ප්‍රශ්නය වීසඳීමෙන් පමණක් නිමා වන ප්‍රශ්නයක් නොවන අතර කුණුවී ගඳගසන මෙම සිස්ටම් එක තුළ තවත් කොතැනක හෝ එවැනි කුණු ප්‍රශ්නයක් මෙම සිස්ටම් එක විසින්ම නිර්මාණය කරනු ඇත. එනිසා මීතොටමුල්ලේ කුණු කන්දත් සමඟ ඇවිස්සී ඇති මෙම කුණු වී ඇති සිස්ටම් එක ගැන ප්‍රශ්නය විසඳීමට ආරම්භක පියවරක් තැබීම ද මීතොටමුල්ලේ කුණු ප්‍රශ්නය විසඳීමට කටයුතු කිරීමත් සමඟ ඉටුකළ යුතු අතිශය වැදගත් කාලීන අවශ්‍යතාවක් වන බවද අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

බ්ලොග් වසන්තය 2017 ඡන්ද විමසුම සඳහා iranga.net/vote සබැඳියෙන් මගේ මෙම ලිපියට ඔබේ මනාපය පළ කරන්න.

Comments

comments

One comment

  1. ස්ථිර විසඳුමක් මේ ආණ්ඩුවට අද හෙටම දෙන්න වෙනවා කියල නම් කිව්ව හැකි.

Please comment using your facebook account.