ශ්‍රී පාලි මණ්ඩපයේ වසර හතරක් හෙවත් මගේ සරසවි ජීවිතය…

මෙම බ්ලොග් සටහන තබන්නට සිතුණේ අදින් දින තුනකට පෙර නිකුත් වූ මා විසින් හැදෑරූ උපාධියේ ප්‍රතිඵල හේතුවෙනි. එනම් වසර හතරක් පුරා මහන්සි වී කැපවීමෙන් ලබා ගත් එම ප්‍රතිඵලයත් එයට සමගාමීව විශ්වවිද්‍යාලයේ දී මා නිරත වූ වෙනත් බොහෝ විෂය සමගාමී කාර්යයන් ද ඇතුළුව සරසවි කාල සමයේ දී ජීවිතයට ලබා ගත හැකිව තිබූ උපරිම වටිනාකම මා විසින් ලබා ගත් බවට සතුටු වන්නට හැකිවීම තුළ එම වසර හතරක කාලය සමස්ත ජීවිතයම කණපිට පෙරළූ කාල සමයක් වීමත් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මෙසේ සටහනක් තැබීම වැදගත් බව සිතුවෙමි.

මා සරසවියට පිවිසෙන්නේ ද ක්‍රමානුකූලව සරසවි පිවිසීම සඳහා ආ ගමනක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. එනම් මා සරසවි පැමිණෙන්නේ උසස් පෙළ ස‍ඳහා පාසල් ගොස් නොවේ. මා උසස් පෙළ හැදෑරීම සඳහා පාසල් ගිය ද එසේ ගියේ ගණිත විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට ය. එහෙත් මා සරසවි වරම් ලබන්නේ කලා විෂය ධාරාවෙනි. ඒ අනුව මා උසස් පෙළ විභාගය සඳහා පාසල් ගිය නමුත් එය සරසවි පැමිණීමට සඳහා අදාළ නොවූ බැවින් සරසවිය දක්වා මා පැමිණි ගමන හුදෙක්ම සරසවි පැමිණීමම අරමුණු කර ගනිමින් කටයුතු කළ මාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් බව කිව යුතුය. එසේම ඒ සඳහා මාගේ ආදරණීය අම්මාගෙන් හා තාත්තාගෙන් ලද අමිල සහයෝගය නොවන්නට කිසිවිටෙකත් මාගේ එම අරමුණ සාක්ෂාත් නොවන්නට ඉඩ තිබුණි.

මාගේ එම සරසවි පැමිණීම සිදු වන්නේ මෙසේය. එනම් 2008 වර්ෂයේ දී ගණිත විෂය ධාරාවෙන් මා පළමු වරට උසස් පෙළ විභාගයට මුහුණ දුන් පසු එහි ප්‍රතිඵලය සරසවියට පිවිසීමට තරම් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව මා හට අවබෝධ වූ නිසා මාගේ එකම අරමුණ වූ සරසවි සිහිනය සාක්ෂාත් කර ගැනීම පිණිස සරසවි ප්‍රවේශය ලබා ගැනීම සදහා ප්‍රමාණවත් වන ඉහළ ප්‍රතිඵලයක් උසස් පෙළ විභාගයෙන් ලබා ගැනීමට මා කලා විෂය ධාරාව වෙත යොමුවන අතර එහිදී මා විසින් තෝරා ගනු ලබන විෂයන් හේතුවෙන් ද යම් අර්බුදයකට පසුව මා හට මුහුණ පෑමට සිදු වන අතර ඒ හේතුවෙන් වසරක් පමණ භූගෝල විද්‍යාව හදාරා එම විෂය අතහැර ඉතිහාස විෂයට යොමුවීමට මා හට සිදුවේ. ඒ අනුව අවසානයේ දී මා සරසවි පිවිසෙන්නේ ඉතිහාසය, සිංහල හා දේශපාලන විද්‍යාව නැමැති විෂයන් වලින් ලබා ගන්නා ප්‍රතිඵල ඔස්සේය.

මෙසේ උසස් පෙළ විභාගය සඳහා පාසල් අධ්‍යාපනයක් මා ලබා නොතිබීම හේතුවෙන් (කෙසේ වුවත් ඇතමුන් උසස් පෙළ විභාගය සඳහා පාසල් අධ්‍යාපනය තුළින් කිසිදු රුකුලක් නොලැබෙන බව විශ්වාස කළත් එය එසේ නොවන බව මාගේ හැඟීමයි. එනම් බොහෝ පාසල්වල උසස් පෙළ විෂයන් සඳහා ලබා දෙන අධ්‍යාපනය සරසවි පිවිසීම සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවුණද වසර දෙකක පමණ කාලයක් පුරා වාර විභාග සඳහා මුහුණ දෙමින් අදාළ විෂයන්ට උසස් පෙළ විභාගයේ දී මුහුණ දීමට යම් කිසි පන්නරයක් ලැබිය හැකි වීම එහිදී වැදගත් වන බව පැවසිය යුතුය.) ඒ සඳහා අවශ්‍ය දැනුම මා සම්පූර්ණයෙන්ම ලබා ගත්තේ උපකාරක පන්ති මඟිනි. එහෙත් එම දැනුමෙන් පමණක් මා සන්නද්ධ නොවී පුස්තකාල ඇසුරෙන් මා ලබා ගත් දැනුම උසස් පෙළ විභාගය ජය ගැනීම සඳහා මා හට මහත් අස්වැසිල්ලක් වූ බව පැවසිය හැකිය. ඒ අනුව 2008 වසරේ දී මුල් වරට උසස් පෙළ විභාගයට මුහුණ දුන් මා නැවත උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නේ 2011 වසරේ දී වන අතර මා සරසවි පිවිසෙන්නේ එම විභාගයේ දී ලබා ගන්නා ප්‍රතිඵල වල සාර්ථකත්වය හේතුවෙනි. මෙම කරුණු මෙම සටහන තුළ දී කෙටියෙන් හෝ සඳහන් කිරීම වැදගත් බව මා සිතුවේ මෙය කියවන කවරෙකුට හෝ සිය ජීවිතය සාර්ථක කර ගැනීමට එම කරුණු ඉවහල් විය හැකි බැවිනි.

මෙසේ 2011 වසරේ උසස් පෙළ විභාගයෙන් සරසවි ප්‍රවේශය සඳහා අවැසි ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වුවද ඒ සඳහා තවත් බාධකයක් පැමිණේ. එනම් එම වසරේ දී පැරණි හා නව නිර්දේශය නමින් විෂය නිර්දේශයන් දෙකක් යටතේ විභාගය පැවැත්වීම හේතුවෙන් සරසවියට ඇතුළත් කර ගැනීම සඳහා සලකා බැලෙන ඉසෙඩ් අගය සම්බන්ධයෙන් අර්බුදයක් උද්ගත වන අතර එය අතිශය බරපතළ අර්බුදයක් බවට පත් වීම හේතුවෙන් අධිකරණ ක්‍රියාමාරගයකට පිවිසී ඒ සඳහා සාධාරණයක් ලබා ගැනීමට සිසුන් පෙළඹේ. ඒ අනුව අවසානයේ දී සරසවි වරම් ලැබීම පිළිබඳ උද්ගතවී තිබූ සැක සහිත තත්ත්වය පහවී ගොස් සරසවි වරම් ලැබීමට මා හට හැකිවන අතර එසේ මා මුලින්ම තේරී පත්වූ සරසවිය රජරට විශ්වවිද්‍යාලය වුවත් පසුව මා විසින් යොමු කරනු ලබන අභියාචනයක් ඔස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට ඇතුළත් වීමට මා හට අවස්ථාව උදාවේ.

sri_palee_campus

මෙසේ සරසවියට පැමිණෙන මා හට මාගේ මුළු ජීවිත කාලය පුරාම ළඟින් රැඳී ඉන්නා මාගේ පෙම්වතිය හමුවේ. ඇය සන්දීපනීය. සරසවි ජීවිතයේ දී උපාධියට අමතරව මා ලැබූ වැදගත්ම  තිළිණය වශයෙන් මම ඇයගේ හමුවීම සලකමි. එම හමුවීම මාගේ ජීවිතය වඩාත් සාර්ථක හා පරිපූර්ණ කළ බව කිව යුතුය.

මාගේ සරසවි ජීවිතය මා හුදෙක්ම කැප කළේ උපාධිය සඳහා පමණක්ම නොවීම ද මාගේ ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු සඳහා වැදගත් වූ බව මෙහිදී කිව යුතුය. ඒ අනුව ලේඛකයෙකු වශයෙන් සරසවිය තුළදී සහ බාහිර සමාජයේ අවධානයට පාත්‍ර වීමට මා හට හැකිවීම සරසවි සමයේ දී මා ලැබූ විශාලතම ජයග්‍රහණය වන බවත් පැවසිය හැකිය. එනම් පසුගිය වසරේදී ගොඩගේ ප්‍රකාශනයක් වශයෙන් එළිදැක්වුණු මාගේ “සමාජ මාධ්‍ය සංස්කෘතිය” නැමැති ග්‍රන්ථය මේ වන විට සරසවියේ අධ්‍යයන කෘතියක් වශයෙන් විද්‍යාර්ථින් විසින් භාවිතයට ගැනීම සහ විශේෂයෙන්ම මාගේ අධ්‍යයන වර්ෂයේ විද්‍යාර්ථින් බොහෝ පිරිසක් එම කෘතිය ඔවුන්ගේ අවසන් වසර නිබන්ධනයේ ආශ්‍රිත මූලාශ්‍රයක් වශයෙන් භාවිත කිරීම මෙන්ම මා හට දැනගන්නට ලැබුණු පරිදි ජනමාධ්‍යවේදී ශාස්ත්‍රපති උපාධි නිබන්ධනයක් සඳහා ද මාගේ කෘතිය යොදාගෙන තිබීම ලේඛකයෙකු වශයෙන් මා එළිදැක්වූ මුල්ම කෘතිය ඔස්සේ මා ලද සුවිශාලතම ආත්ම තෘප්තිය වේ. එය සරසවියේ ඉන්නා සමයේ දී එළිදැක්වීමට හැකිවීම තුළ බොහෝ පිරිසක් අතර එයට පිළිගැනීමක් හිමිවූ අතර ඒ ඔස්සේ බොහෝ විද්වතුන් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට ද මා හට අවස්ථාව උදාවිය.

එසේම මා ඉතාමත් ආශාවෙන් නියැලෙන කාර්යයක් වන බ්ලොග්කරණය සඳහා මා පිවිසෙන්නේ ද මා සරසවි ජීවිතය ගත කරමින් සිටින සමයේදීය. මුලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ මාගේ ලිපි ප්‍රකාශයට පත් කිරීමට මා කටයුතු කළ අතර ඉන් පසුව 2015 වසරේ දී මාගේ මෙම බ්ලොග් අඩවිය ආරම්භ කර මම බ්ලොග්කරණයේ නිරත වෙමින් සිටිමි. සරසවියේ දී නවකවධය ඇතුළුව ඇතැම් ශිෂ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මා සමාජ මාධ්‍ය තුළ පළකළ විවේචනාත්මක ලිපි, සරසවියේ ජීවිතයේදී මාගේ සහෝදර සිසුසිසුවින් අත්විඳි අත්දැකීම් සහ සරසවියේ පැවති විවිධ සංවාද සම්බන්ධයෙන් මා ලියූ ලිපි සම්මානනීය බ්ලොග් ලේඛකයෙකු බවට පත්වීම සඳහා මා හට පන්නරයක් වූ බව ඉඳුරාම පැවසිය යුතුය. මෙවර නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී සාහිත්‍ය කලා විචාර අංශය යටතේ සම්මානයට පාත්‍ර වූ “යථාර්ථයෙන් ඔබ්බට දැකිය යුතු මොහාන් රාජ් මඩවලගේ නවකථා කලාව” නැමැති බ්ලොග් ලිපිය සඳහා ද පාදක වූයේ එසේ සරසවියේදී මොහාන් රාජ් මඩවලගේ සහභාගිත්වයෙන් පැවති සංවාදයකි.

තවද ජනමාධ්‍ය විද්‍යාර්ථීන්ට සිය අධ්‍යයන කටයුතු සඳහා පරිශීලනය කළ හැකි ශාස්ත්‍රීය ලිපි ගණනාවක්ද සරසවි සමයේ දී ලියා පළ කිරීමට මා හට හැකිවිය. ඒවායින් ඇතැම් ලිපි මාගේ බ්ලොග් අඩවියේ පළ කර ඇති අතර ඇතැම් ලිපි සිංහල විකිපීඩියාවේ පළ කර තිබේ. එම ලිපි දැනට සිංහල භාෂාවෙන් එම මාතෘකාවට අදාළව ලියවී ඇති අන්තර්ජාලයේ දී සොයා ගත හැකි එකම ලිඛිත මූලාශ්‍රයන් බවට පත්වී තිබීම හේතුවෙන් ඒවා පරිහරණය කරන පිරිස හා ඒවායේ වටිනාකම වැඩිවී තිබේ. තවද සරසවියේ අවසන් වසරේ දී මා ක්ෂේත්‍ර චාරිකාවක් වශයෙන් ලේක් හවුස් ආයතනය නිරීක්ෂණය සඳහා සහභාගි වී එහිදී ලබා ගත් තොරතුරු ඇසුරෙන් ලෙක් හවුස් ආයතනය සඳහා සිංහල විකිපීඩියාව තුළ ලිපියක් රචනා කිරීමට ද මා කටයුතු කළ අතර ඒ දක්වා ලේක් හවුස් ආයතනය සම්බන්ධයෙන් තොරතුරු සොයන පුද්ගලයෙකුට තොරතුරු ලබා ගැනීමට ලිපියක් සිංහල විකිපීඩියාව තුළ නොතිබීමේ හිඩැස එම ලිපිය ඔස්සේ මා විසින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන ලද්දේ ලේක් හවුස් ආයතනය සම්බන්ධයෙන් වඩාත් යාවත්කාලීන වූ තොරතුරු ද එම විකිපීඩියා ලිපිය තුළ අන්තර්ගත කිරීමට මා විසින් කටයුතු කළ බැවිනි.

මෙසේ මාගේ බ්ලොග් ලිපි සහ සිංහල විකිපීඩියාවට මා විසින් ලියූ ලිපි සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ශ්‍රී පාලි මණ්ඩපය පිළිබඳ සිංහල විකිපීඩියාව තුළ ලිපියක් මා විසින් රචනා කිරීම මාගේ දැනුමෙන් මා උගත් සරසවියට කළ හැකි වූ ප්‍රතිඋපකාරයක් වශයෙන් මම සලකමි. එය ප්‍රකාශයට පත් වීමෙන් පසුව බොහෝ දෙනෙක් වෙතින් ඒ සඳහා හිමිවූ ප්‍රශංසා ඔස්සේ නිහතමානී ආඩම්බරයක් මා අත්විඳි බව පැවසිය යුතුය.

තවද ශ්‍රි පාලි මණ්ඩපයේ මාධ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට මා හට අවස්ථාව ලැබීම සහ ඒ ඔස්සේ ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් මහතාගේ පෞද්ගලිය වෙබ් අඩවිය නිර්මාණය කිරීමට ද මා හට හැකිවිය. එම වෙබ් අඩවියේ සුවිශේෂත්වය වූයේ එතුමා විසින් රචනා කළ සහ එතුමාගේ මූලිකත්වයෙන් මාධ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත්කළ ග්‍රන්ථ විද්‍යුත් මාධ්‍යයෙන් පරිහරණය කිරීම සඳහා අන්තර්ජාල ගත කිරීමට මා හට අවස්ථාව ලැබීමය. අන්තර්ජාලය සම්බන්ධයෙන් මා විසින් වසර ගණනාවක් පුරා ලබා තිබූ දැනුම සහ අත්දැකීම් ඒ සඳහා ඉවහල් කර ගැනීමට මා විසින් කටයුතු කළේය.

මෙසේ වසර හතරක් පුරා සරසවියේ දී උපාධිය හැදෑරීමට අමතරව තවත් කාර්යයන් ගණනාවක නිරත වීමට සහ අනාගත විද්‍යාර්ථයින්ගේ මෙන්ම සරසවියේ උන්නතිය වෙනුවෙන් මා සතුවූ දැනුම සහ අත්දැකීම් භාවිත කරමින් යම් කිසි වැඩ ප්‍රමාණයක් ඉටු කිරීමට හැකිවීම මාගේ ජීවිතයේ දී මා ලද සුවිශාලතම භාග්‍යය වශයෙන් සලකමි. මෙම කාල සමයේ දී මා හට බොහෝ  උපකාර කළ සරසවි කථිකාචාර්යවරුන් වෙතින් මාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට මා ලද දායකත්වය මෙන්ම මාගේ සරසවි නේවාසිකාගාරයේ සහෝදර කැල ඇතුළු මිතුරු මිතුරියන් ද සෙවණැල්ලක් මෙන් මා සමඟ සිටි මාගේ ආදරණීය පෙම්වතිය සහ මාගේ ජීවිතයේ සුවිශාලතම ශක්තිය වන මාගේ ආදරණීය අම්මා සහ තාත්තා මෙන්ම මාගේ නැගණිය ද සරසවි කාල සමයේ මා ලද සියළුම ජයග්‍රහණවල පසුපස සිටි යෝධ ශක්තිය බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

ආශ්‍රිත ලිපි
ලේක් හවුස් ආයතනය පිළිබඳ විකිපීඩියා ලිපිය
ශ්‍රී පාලි මණ්ඩපය පිළිබඳ විකිපීඩියා ලිපිය

Comments

comments