රහල් අල්විස්ගේ මාධ්‍ය භාවිතයට එරෙහි වෙමු!

මෙම බ්ලොග් සටහන තබන්නේ මුළු රටම ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති මෙහොතක මාධ්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් ප්‍රශ්නගත කළ පුරවැසියෙකුට ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ සිය අශීලාචාරත්වය ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය වෘත්තිය තුට්ටු දෙකට ඇද දැමූ රූපවාහිනී නිවේදකයෙකු සම්බන්ධයෙනි. එය කිසිසේත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවන බැවින් සහ මෙවැනි තත්ත්ව දිගින් දිගටම සිදුවීම මාධ්‍ය ක්ෂේත්‍රයේ ගෞරවනීයත්වය පවා කෙළසීමට හේතු වන බැවින් ඒ සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු කරවීම පිණිස මෙම සටහන තබමි.

මෙම අශීලාචාර මාධ්‍ය භාවිතය පෙන්නුම් කළ සිදුවීම සිදු වන්නේ එක්තරා ගීත ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් අතරතුරදීය.  එම වැඩසටහන අතරතුර සජීවීව දුරකථනය ඔස්සේ සම්බන්ධ වන ප්‍රේක්ෂිකාවක් රටම මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවකට මුහුණ දී ඇති මොහොතක මෙසේ චාට් ෂෝ කිරීම සුදුසුදැයි අසයි. ඒ සම්බන්ධයෙන් උරණ වන මෙම අශීලාචාර නිවේදකයා එම මාධ්‍ය අන්තර්ගතය සාධාරණීකරණය කිරීමට උත්සාහ දරමින් අවසානයේ “මාව තරහා ගස්සන්න එපා” යැයි කියා පවසන්නේ එම වැඩසටහන සජීවීව මෙරටේ ප්‍රේක්ෂකයන් පමණක් නොව විදේශ රටවල ප්‍රේක්ෂකයින් පවා නරඹමින් සිටින මොහොතකදීය. මෙම තත්ත්වය කිසිසේත් රූපවාහිනී නිවේදකයෙකු වෙතින් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයක් වන අතර මහමගදී හමුවූ පුද්ගලයෙකු විසින් විමසූ දෙයකට උරණ වී එයට ප්‍රතිචාර දක්වන ආකාරයට සජීවී රූපවාහිනී වැඩසටහනකදී ප්‍රතිචාර දැක්වීම නිවේදක වෘත්තියේ කීර්තිය පවා හානි කිරීමට හේතු වූ සිදුවීමක් බව පැවසිය හැකිය.

කෙසේ වුවත් මෙම අවාසනාවන්ත සිදුවීම ඔස්සේ මෙරටේ වත්මන් මාධ්‍ය කර්මාන්තය පිළිබදව විචාරයකට එළඹීමට ද අවකාශය සලසා දී තිබේ. එනම් ගීතයක් දෙකක් කියා එසේත් නැතිනම් ටෙලි නාට්‍යවල හෝ චිත්‍රපටවල රඟපෑ පමණින් හෝ යම්කිසි රියැලිට් වැඩසටහනකට සහභාගි වී එයින් ජනප්‍රියත්වයක් ලැබූ පමණින් යමෙකු රූපවාහිනී නිවේදකයෙකු බවට පත්කොට ඔහුට හෝ ඇයට සිතෙන ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට අවකාශය සලසා දී ඇති මෙරටේ මාධ්‍ය අන්තර්ගතය ද මෙහිදී සෘජුවම ප්‍රශ්න ගත කිරීමට ලක්කළ යුතුය. නොඑසේ නම් මාධ්‍ය භාවිතය වඩාත් වගකීම් සහගත තත්ත්වයක් බව අවබෝධ කර ගැනීමට තරම්වත් බුද්ධියක් නොමැති හා ජනප්‍රියත්වය හුදු ආභරණයක් බවට පත්කර ගනිමින් කටයුතු කරනු ලබන තැනැත්තන්ව නිවේදකයන් බවට පත්කිරීමට මෙරටේ අද්‍යතන මාධ්‍ය කර්මාන්තය තුළ කටයුතු කිරීම ද මෙහිදී හෙලා දැකිය යුතුය.

එසේම ජනමාධ්‍ය ඔස්සේ සිදු නොවිය යුතු එහෙත් සිදු වෙමින් පවතින මෙවැනි  සිදුවීමක් වාර්තා වූ මුල්ම වතාවද මෙය නොවේ. එනම් මීට පෙරද ඇතැම් පෞද්ගලික මෙන්ම රාජ්‍ය රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා තුළ නිවේදක නිවේදිකාවන් විසින් සිය හිතුමතයට වචන භාවිත කරමින් ඇතැම් විට වෙනත් පාර්ශවවලට අපහාසයන් සිදුවන අන්දමින් කටයුතු කරනු ලැබූ අවස්ථා බහුල වශයෙන් දැකගත හැකිවී තිබේ. එහෙත් එම අවස්ථා සාමාන්‍ය තත්ත්වයන් වශයෙන් සලකා සහ අදාළ මාධ්‍ය ආයතනයේ ජනප්‍රියත්වය පවත්වා ගැනීම සඳහා එවැනි තත්ත්ව වැළැක්වීමට කටයුතු නොකිරීම ද එහිදී සිදුවේ. විශේෂයෙන්ම අද්‍යතනයේ බොහෝ නිවේදක නිවේදිකාවන් විවිධ වෙළෙඳ භාණ්ඩවල අලෙවි ප්‍රවර්ධකයින් වශයෙන් වැඩසටහන් තුළ දී සිය නිවේදක වෘත්තිය අධිභාවිතයට ගනිමින් කටයුතු කරන තත්ත්වයක් තුළ අතීතයේ දී නිවේදක වෘත්තිය තුළ පැවති ගෞරවනීයත්වය  මුදල් හමුවේ හෑල්ලුවට ලක්වී ඇති තත්ත්වයක් ද උද්ගත වී තිබේ.

එමෙන්ම රහල් අල්විස්ගේ මෙම අශීලාචාර හැසිරීම මෙරටේ මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරවන සිදුවීමක් වන බව ද පැවසිය යුතුය. එනම් තවමත් මෙරටේ කිසිදු මාධ්‍ය අන්තර්ගතයක් නියාමනය කිරීමේ විධිමත් ක්‍රමවේදයක් මෙරට තුළ ක්‍රියාත්මක නොවීම තුළ මෙවැනි අශීලාචාර සිදුවීම් ඇති වීම සඳහා මාධ්‍ය තුළ අවකාශය විවර වී තිබේ. ඒ අනුව රහල් අල්විස් වැනි පුද්ගලයින් මාධ්‍ය තුළින් බිහිවන්නේ ද එසේ නියාමනය නොකරන ලද හා ප්‍රමිතිගත නොකරන ලද මාධ්‍ය පසුබිමක් තුළය. එනම් සුළු ජනප්‍රියත්වයක් ලැබූ පමණින් වැඩසටහන් නිවේදකයින් බවට පත්ව මාධ්‍ය පිළිබඳ කිසිදු හැදෑරීමක් හෝ අධ්‍යයනයක් නොමැතිව මෙසේ අඳබාලයින් වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව උදාවී තිබීම අද්‍යතනයේ මෙරට මාධ්‍ය කර්මාන්තය තුළ පවත්නා ඛේදනීය තත්ත්වයේ පිළිබිඹුවක් වශයෙන් ද පෙන්වා දිය හැකිය.

ඒ අනුව අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ මෙවැනි තත්ත්ව මින් ඉදිරියට හෝ මාධ්‍ය තුළ සිදුවීම වළක්වා ගැනීමට කටයුතු කිරීම ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු දෙනාගේම වගකීම වන බවය. ජනප්‍රියත්වය පමණක් නිවේදකයෙකු වීමට සුදුසුකමක් වශයෙන් සලකා ඔවුන්ට වැඩසටහන් මෙහෙයවීමට අවස්ථාව ලබා දීමට පෙර මාධ්‍ය සමබන්ධයෙන් ඔවුන්ට යම් අවබෝධයක් ලබාදීම හෝ මාධ්‍ය සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යය. එසේ නොකර කිසිදු පූර්ව සූදානමකින් තොරව මුවට නැගෙන ඕනෑම වචනයක් දෙවරක් නොසිතා ප්‍රකාශ කිරීම සහ ඒ ඔස්සේ ප්‍රේක්ෂකයින් ඉදිරියේ අඳබාලයින් සේ හැසිරෙන මෙවැනි පුද්ගලයින්ට මාධ්‍ය තුළ කටයුතු කිරීමට අවකාශය සලසා දීම කිසිසේත් සුදුසු නැත. එමෙන්ම කතා කිරීමට හැකිවූ පමණින් නිවේදකයෙකු විය නොහැකි බවත් මෙවැනි අශීලාචාර පුද්ගලයින් විසින් අවබෝධ කර ගැනීම ද ඉතා වැදගත් වන අතර සජීවීව තම අශීලාචාරකම හා නොහික්මුණුකම ලෝකය හමුවේ ප්‍රදර්ශනය කර ඉන්පසුව සමාව අයදීමට කටයුතු කිරීමෙන් පලක් නොවන බවත් රහල් අල්විස්ගේ මෙම මාධ්‍ය භාවිතයට එරෙහිව කටයුතු කිරීම මෙවැනි සිදුවීම් මින් ඉදිරියට හෝ ඇතිවීම වළක්වා ගැනීම සඳහා අතිශයින් වැදගත් වන බවත් අවධාරණය කළ යුතුය.

Comments

comments