තුන්වන කාර්මික විප්ලව අවධිය තුළ ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය අභිසරණය

සන්නිවේදනය පිළිබඳ හැඳින්වීම

මානවයාගේ උපතේ සිට මරණය තෙක් ඔහුගේ ජීවිතය මෙහෙයවනු ලබන මූලික පදාර්ථය ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය. එය මානව ක‍්‍රියාකාරකම් සමඟ පවත්වනු ලබන ඓන්ද්‍රීය සම්බන්ධතාව ඔස්සේ පුද්ගල සිතුම් පැතුම් අරමුණු සහගතව හැසිරවීමෙන් මානවයාගේ සමාජයීය භූමිකාව වඩාත් අර්ථ සම්පන්න  කරනු ලැබේ.

“සන්නිවේදනයෙන් තොරව මානව කණ්ඩායම්හි හා මානව සමාජයන්හි පැවැත්මක් නොවන බව විල්බර් ශ‍්‍රාම් පවසයි”. විල්බර් ශ‍්‍රාම්ගේ අදහස අනුව මානව සමාජයේ පැවැත්ම රඳා පවතින්නේ සන්නිවේදනය මඟිනි. එහි දී මානවයාගේ අවශ්‍යතා තෘප්ත කර ගනු පිණිස සාමූහිකව කටයුතු කිරීමේ දී සන්නිවේදනය ඔහුගේ මූලික මෙවලම බවට පත්වී ඇති බව ප‍්‍රකාශ කළ හැකිවේ.

“භාෂණය, ලේඛනය හෝ සංඥාව මඟින් අදහස් හා දැනුම ඉදිරිපත් කිරීම හෝ හුවමාරු කර ගැනීම සන්නිවේදනය වේ”. ඒ අනුව සන්නිවේදනයේ දී සිදුවන්නේ භාෂණය, ලේඛනය හෝ වෙනත්  ඕනෑම සංඥා පද්ධතියක් වැනි මාධ්‍යයක් ඔස්සේ තොරතුරු හුවමාරු කර ගැනීමයි. සන්නිවේදනය යනු කුමක් දැයි පළමුව නිර්වචනය කරනු ලැබූ හැරල්ඩ් ඩී. ලැස්වෙල් සන්නිවේදනය යනු කවරක්දැයි පහත පරිදි අර්ථ දක්වනු ලබයි.

“කවුරුන් විසින් කුමක් කුමන මාධ්‍යයකින් කවුරුන් වෙත කිනම් බලපෑමක් ඇති කරනු ලැබීම සඳහා කියනු ලබන්නේද එය සන්නිවේදනය වේ”. එනම් සන්නිවේදනය තුළ තොරතුරු හුවමාරු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර සන්නිවේදනය ඔස්සේ සිදුකරනු ලබන බලපෑම පිළිබඳ අධ්‍යයනය ද වැදගත් වේ. එමඟින් මානව සම්බන්ධතා වඩාත් විස්තීර්ණව හැදෑරීම සඳහා සන්නිවේදන විෂය ක්ෂේත‍්‍රය භාවිත කළ හැකිවේ.

සන්නිවේදන ඉතිහාසය කෙටියෙන් 

මානව ජීවිතය හා නෛසර්ගිකව බැඳී පවතින සන්නිවේදනය මානව වංශයේ සම්භවයත් සමඟම ආරම්භ වන්නට ඇති බව අනුමාන කළ හැකිය. පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් අනාවරණය වූ සාධක අනුව ආදිම මිනිසා මීට අවුරුදු හතලිස් දහසකට පමණ පෙර ජීවත් වී ඇත. ගල්ගුහා මුල්ම වාසස්ථාන කර ගත් ඔවුහු දඩයම් කිරීමෙන් සිය ආහාර සපයා ගැනීමේ අවශ්‍යතාව සපුරා ගන්නට කටයුතු කළහ. ඒ අනුව සන්නිවේදන ඉතිහාසය පරික්ෂා කිරීමේ දී මුල්ම මානවයා සිය සන්නිවේදන කාර්යය පිණිස භාවිත කළ ක‍්‍රමවේද මෙම ගල්ගුහා ආශ‍්‍රිතව වර්ධනය වූ බවට සාක්ෂි හමුවේ.

ප‍්‍රාග් ඓතිහාසික ගුහා චිත‍්‍ර වශයෙන් හඳුනාගන්නා මෙම ගුහා  චිත‍්‍ර ආදි මානවයා විසින් ගල් ගුහාවක බිත්තියේ මනා ලෙස සිතුවම් කළේ විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහාය. මෙහි මූලික අරමුණ වූයේ ඔවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය වූ දඩයම සාර්ථක කර ගැනීමය. කෙසේ වුවත් මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් ප‍්‍රකාශ කරන්නේ දඩයම් කටයුතු සඳහා සතුන් ගුහා තුළට ගෙන්වා ගැනීම සඳහා මෙසේ ගුහා තුළ සත්ව රූ සහිත සිතුවම් නිර්මාණය කරන්නට ඇති බවයි.

මෙලෙස නිර්මාණය කරනු ලැබූ ගුහා චිත‍්‍ර මානව සන්නිවේදනයේ ප‍්‍රථම ඓතිහාසික සාක්ෂ්‍ය නූතනය කරා ප‍්‍රක්ෂේපණය කරනු ලබන සාධක ලෙස සැලකිය හැකිය. පූර්ව පෑලියෝලිතික යුගයේ වසර 25,000 සිට 30,000 දක්වා වන කාලපරිච්ඡේදය තුළ මානව වර්ගයා ජීවත් වූ ගුහා බිත්ති මත ඔවුහු සිය ජීවන අත්දැකීම් චිත‍්‍රණය කළහ. (ප‍්‍රංශයේ අල්ටමීර, ස්පාඤ්ඤයේ ලස්කෝ, ලංකාවේ කිතුල්ලෙන, බෙලිලෙන, තන්තිරිමලේ, පොංපරිප්පු).

කෙසේ වුවත් මානව සන්නිවේදනයේ මුල්ම හැරවුම් ලක්ෂ බවට පත්වන්නේ මානවයා විසින් ලේඛන ක‍්‍රමවේදය බිහිකර ගැනීමය. එනම් මානව පරිණාමය තුළ නියත වශයෙන් ලේඛන ක‍්‍රමයක අවශ්‍යතාව ඉස්මතු වූයේ මානවයා දඩයම් – එඬේර යුගයේ සිට ක‍්‍රමයෙන් කෘෂිකාර්මික ගොවි යුගය කරා සම්ප‍්‍රාප්ත වූ විටය. එහි දී යම්කිසි අර්ථයක් ජනනය කළ සංකේත හෝ රූප භාවිතය තුළින් පළමුව චිත‍්‍රාක්ෂර නිර්මාණය වූ බව පෙනේ. ඉන්පසුව ඒවා තුළින් ශබ්ද විද්‍යාත්මක ස්වරූපය හා පද සංයෝජන විශ්ලේෂණ රටාව නිරූපණය කිරීම ඔස්සේ මානව සමාජය ලේඛන කලාවට අවතීර්ණ වූ බව ප‍්‍රත්‍යක්ෂ කළ හැකිය.

මානව වංශය ලේඛන කලාවට පිවිසි පසු මුල් කාලයේ දී ඒ සඳහා මැටි පුවරු භාවිතා කළ බවට සාක්ෂ්‍ය ලැබේ. ඒ සඳහා නිදසුනක් ලෙස පෙන්වා දිය හැකි අවස්ථාවක් වන්නේ සුමේරියන්වරු මූලික ලේඛන රටා සකස් කර ගෙන ඇත්තේ පරිභෝජන උපකරණ පෙන්නුම් කිරීම සඳහා මැටි කැබලි මඟින් සකස් කර ගත් මෙවලම් ආශ‍්‍රයෙන් වීමයි.

ක‍්‍රි.ව.105 දී චීන ජාතික සායි ලූන් විසින් මුල් වරට කඩදාසි සොයා ගනු ලැබිණි. සායි ලූන්ගේ මෙම සොයාගැනීම ඔස්සේ මානව ශිෂ්ටාචාරයේ ප‍්‍රබලතම සන්නිවේදන මාධ්‍යය වන මුද්‍රිත මාධ්‍යයේ බිහිවීම කෙරෙහි පදනම සකස් කරනු ලැබිය. ඒ අනුව ජර්මන් ජාතික ගුටෙන්බර්ග් විසින් ක‍්‍රි.ව. 1439 දී පමණ නිෂ්පාදනය කරනු ලබන මුද්‍රණ යන්ත‍්‍රය මානව ඉතිහාසය පුරාම සිය ආධිපත්‍යය පතුරවමින් විරාජමාන වන පුවත්පත් මාධ්‍යයේ ඇරඹුම සනිටුහන් කරන ලදි.

මෙසේ මුද්‍රණ යන්ත‍්‍රය නිර්මාණය වීමෙන් අනතුරුව මුද්‍රිත ප‍්‍රකාශන මඟින් තොරතුරු හුවමාරුව ලොව පුරා ප‍්‍රචලිත වන්නට විය. මුල් යුගයේ දී ආගමික අරමුණු මත මුද්‍රණ තාක්ෂණය යොදාගනු ලැබුව ද පසුකාලීනව ඇතිවන සමාජ විපර්යාස මඟින් පුවත්පත් බිහිවීමට අවශ්‍ය සමාජයීය තත්ත්ව නිර්මාණය කෙරේ. ඒ ඔස්සේ බිහිවන පුවත්පත් මාධ්‍යය අද්‍යතනය තෙක්ම පුද්ගල ජනවිඥානය මෙහෙයවීමේ ප‍්‍රධාන සාධකය ලෙස ක‍්‍රියාත්මක වීම දක්නට ලැබේ.

පුවත්පතෙන් පසුව මානව සමාජ තුළ මීළඟ සන්නිවේදන පෙරළිය ඇති කරනු ලබන්නේ ගුවන්විදුලි මාධ්‍යය විසිනි.  ගුවන්විදුලිය බිහි කිරීමට මඟ පාදන ලද පර්යේෂණ 19 සියවස අග භාගයේ දී ගුග්ලිඑමෝ මාර්කෝනි විසින් සිදු කරන අතර ඒවායේ සාර්ථකත්වය හේතුවෙන් ගුවන්විදුලිය 20 වන සියවස ආරම්භයේ පටන් මානව ජීවිතවල හැඩය තීරණය කරන සාධකය බවට පත්වේ. ගුවන්විදුලිය මඟින් සිදුවන්නේ විද්‍යුත් තරංගයක් බවට පරිවර්තනය කර විකාශය කරනු ලබන යම්කිසි ශ‍්‍රව්‍ය සංඥාවක් විද්‍යුත් තරංග ස්වරූපයෙන් නැවත  ශ‍්‍රව්‍ය සංඥාවක්  බවට පත්කර සන්නිවේදනය කිරීමයි.

මෙම ශබ්ද තරංග විද්‍යුත් තරංග බවට හරවා ගුවන්විදුලි මාධ්‍යය ඔස්සේ වෙනත් තැනකට ක්ෂණිකව සම්පේ‍්‍රෂණය කිරීමේ මූලධර්මය භාවිත කිරීමෙන් එහි තාක්ෂණික දිගුවක් ලෙස රූපවාහිනිය ආගමනය වේ. ඒ ඔස්සේ එතෙක් කල් ගුවන්විදුලිය මඟින් සිදුකළ ශ‍්‍රව්‍ය සන්නිවේදනය වෙනුවට ශ‍්‍රව්‍ය-දෘශ්‍ය නැමැති ද්වීආකාරයෙන්ම සමන්විත රූපවාහිනී මාධ්‍යයේ අත්දැකීම මානව සමාජයට අත්විඳීමට හැකිවිය.

රූපවාහිනියට පසුව මානව සමාජ ප‍්‍රගමනයට හේතුවන මීළඟ සන්නිවේදන පෙරළිය සිදුවන්නේ අන්තර්ජාලයේ ආගමනයත් සමඟිනි. එනම් 20 වන සියවසේ මැද භාගයෙන් පමණ ඇරඹෙන අන්තර්ජාලයේ පූර්ව අවධිය තුළදී තාක්ෂණික වශයෙන් අන්තර්ජාලය බිහිවීමට අවශ්‍ය පදනම සකස් වන අතර එම සියවසේ අග භාගය වන විට අන්තර්ජාලය ගොඩනැඟීමට අවශ්‍ය තාක්ෂණික සාධක සම්පූර්ණ වේ. එතැන් පටන් 21 වන සියවසේ මුල් දශකය තුළ අන්තර්ජාලය ලොව පුරා ව්‍යාප්ත වීම ඇරඹේ. ඉන්පසු 21 වන සියවසේ දෙවන දශකය ආරම්භයේ සිට අන්තර්ජාලය මානව වංශ සන්නිවේදන භාවිතය උඩු යටිකුරු කරමින් එදා මෙදා තුර බිහිවූ ප‍්‍රමුඛතම සන්නිවේදන මෙවලම ලෙස සිය ලෝක සේවයෙහි යෙදී සිටියි.

එමෙන්ම චන්ද්‍රිකා රූපවාහිනී සේවා, ස්මාර්ට් ජංගම දුරකථන, ඩිජිටල් රූපවාහිනී තාක්ෂණ ක‍්‍රමවේද වැනි නව සන්නිවේදන භාවිත ගණනාවක් ගතවූ වසර පහක පමණ කාලය තුළ ලෝකය ආක‍්‍රමණය කර තිබේ. ඒ ඔස්සේ බිහිවී ඇති මාධ්‍ය අභිසාරිත්වයේ ස්වභාවය මෙහිදී තුන්වන කාර්මික විප්ලවය කේන්ද්‍ර කර ගනිමින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

සිවුවන කාර්මික විප්ලවය තෙක් මානව වංශ ඉතිහාසයේ සිදුවූ කාර්මික විප්ලව

මානව ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී විද්‍යාමාන වන කරුණක් වන්නේ එකී ඉතිහාසය ගොඩනැංවීමෙහිලා මානවයා විසින් මානව සමාජය කේන්ද්‍රකර ගනිමින් සිදුකළ විප්ලව ගණනාවක් හේතු වී ඇති බවයි. එනම් පවතින සමාජයීය, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික සාධකයන්ට අභියෝග කරමින් එම තත්ත්ව වෙනස් කරනු පිණිස මානවයා විසින් ක‍්‍රියා කර ඇති ආකාරය තුළ මානව ඉතිහාසය නිර්මිත වී තිබේ. ඒ අනුව මානව ඉතිහාසයේ එක් එක් යුගවලදී  මානව සමාජ අවශ්‍යතා උදෙසා ක‍්‍රියාත්මක වන නිෂ්පාදන හා සේවා විවිධ නව තාක්ෂණික ක‍්‍රමවේද භාවිතයෙන් වඩා කාර්යක්ෂමව සපුරා ගැනීමට මානවයා කටයුතු කරන්නට විය. එම තත්ත්ව තුළ මානව සමාජයේ සිදුවූ පරිවර්තන සමූහය කාර්මික විප්ලවයක් ලෙස හඳුනාගනු ලැබේ.

ඒ අනුව මානව ඉතිහාසය පුරා මෙසේ සිදුවූ කාර්මික විප්ලව හතරක් හඳුනාගත හැකිය.

  1. වාෂ්ප බලය මූලික කර ගනිමින් 18 සහ 19 වැනි සියවස්වල එංගලන්තයෙන් ආරම්භ වී යුරෝපය පුරා ව්‍යාප්ත වූ පළමු වන කාර්මික විප්ලවය.
  2. විදුලි බලය කේන්ද්‍ර කර ගනිමින් මහා පරිමාණ නිෂ්පාදන සිදුකිරීම ඔස්සේ ඇතිවූ තාක්ෂණික විප්ලවය හෙවත් දෙවන කාර්මික විප්ලවය.
  3. පරිගණක හා තොරතුරු තාක්ෂණය මඟින් ඇති වූ ඩිජිටල් විප්ලවය හෙවත් තුන්වන කාර්මික විප්ලවය.
  4. සයිබර් භෞතික පද්ධති (Cyber Physical Systems) මඟින් බිහිවන සිවුවන කාර්මික විප්ලවය.

(ඇතැම් ප‍්‍රවර්ග ගත කිරීම් තුළ අංකිත තාක්ෂණය ඔස්සේ සිදු වූ විප්ලවය සිවුවන කාර්මික විප්ලවය ලෙස හඳුන්වා දී තිබේ.)

ඉහතින් සඳහන් කළ ආකාරයට මානව ඉතිහාසය පුරා ප‍්‍රමුඛ ගණයේ කාර්මික විප්ලව හතරක් සිදු වී ඇති බව පෙනේ. මෙහි දී සිවුවන කාර්මික විප්ලව අවධියේ ස්වභාවය හඳුනාගනිමින් මාධ්‍ය අභිසාරිතාව කෙරෙහි එමඟින් ඇති කළ බලපෑම විශ්ලේෂණය කිරීමට උත්සාහ කෙරේ.

වර්ෂ 1947 දී ට‍්‍රාන්සිස්ටරය සොයා ගැනීම සමඟ ඩිජිටල් පරිගණක නිර්මාණය වීම සඳහා මහත් පිටුබලයක් ඇති කළේය. ඩිජිටල් තාක්ෂණයේ දී සිදුවන්නේ 1,0 උපයෝගී කර ගෙන ඒ ඇසුරින් වෙනත් අගයන් අර්ථ නිරූපණය කරනු ලබන සංඥා විශේෂයක් භාවිතයට ගැනීමය. මෙම තාක්ෂණය පළමුව පරිගණකවලට ද ඉන් අනතුරුව ජංගම දුරකථන ඇතුළුව වර්තමානයේදී ඩිජිටල් රූපවාහිනී දක්වා භාවිතයට ගැනීම සිදුවේ. මෙහි දී දැකිය හැකි වාසිදායක තත්ත්වය වන්නේ මෙම තාක්ෂණය ඔස්සේ නිර්මාණය කර ඇති උපාංග අතර දත්ත හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සැලසීමයි. ඒ අනුව මෙම ඩිජිටල් තාක්ෂණය පදනම් කර ගනිමින් ලොව පුරා ඇතිවූ පෙරළිය තුන්වන කාර්මික විප්ලවය ලෙස හඳුනා ගැනේ.

මාධ්‍ය අභිසාරිතා ක‍්‍රියාවලිය හඳුනාගැනීම

පොදු අරමුණක් හෝ අභිලාශයක් ඉටු කර ගැනීම සඳහා එක්ව ක‍්‍රියා කිරීම අභිසාරිතාවය වේ. තව ද  එක්ව පැමිණෙන විට එකිනෙකා හමුවන ස්ථානයේ දී අභිසාරිතාව සිදුවන බව ද පැවසිය හැකිය. ඒ අනුව මෙම අදහස වඩා පුළුල් අර්ථයෙන් මාධ්‍ය අභිසාරිතාව පැහැදිලි කිරීම සඳහා යොදා ගත හැකිය.

කෙසේ වුවත් මාධ්‍ය අභිසාරිතාව පිළිබඳ සංකල්පය පළමුව සංවර්ධනය වන්නේ මාධ්‍ය පදනම් කර ගනිමින් නොවේ. එනම් අභිසාරිතාව මාධ්‍ය නොවන අනෙකුත් කර්මාන්ත මඟින් යොදා ගනු ලැබුවේ මීට බොහෝ කාලයකට පෙරය. ඒ අනුව මාධ්‍ය අභිසාරිතාවයේ ආරම්භය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ප‍්‍රකාශ කළ හැක්කේ මෙහෙයුම් අභිසාරිතාව නව ක‍්‍රියාවලියක් නොවන බවයි.

මාධ්‍ය අභිසාරිතාවයේ විකාශනය හා වර්ධනය කෙරෙහි පරිගණක පදනම් කර ගනිමින් ඇතිවන තොරතුරු තාක්ෂණ ක‍්‍රියාවලිය සෘජුවම බලපෑම් කරනු ලැබේ. එනම් තොරතුරු තාක්ෂණ විප්ලවය සමඟ ඇතිවූ වෙළෙඳපොළ නිෂ්පාදන ක‍්‍රියාවලියක් ලෙස ද මාධ්‍ය අභිසාරිතාව හඳුනාගත හැකිය. මාධ්‍ය අභිසාරිතාව නැමැති යෙදුම ලොව පුරා ප‍්‍රචලිත වන්නේ Nicholas Negroponte නම් විද්වතා නිසාය. ඔහු පවසන්නේ සන්නිවේදන තාක්ෂණය මඟින් එකිනෙකට වෙන්වෙන්ව පවතින කර්මාන්ත තුනක් අතිච්ඡාදනය වී මාධ්‍ය අභිසාරිතාව ගොඩනැංවෙන බවයි. එය පහත ආකාරයට රූප සටහනකින් දැක්විය හැකිය.

ඉහත අයුරින් මාධ්‍ය අභිසාරිතාව ඇතිවීම කෙරෙහි විවිධ රාජ්‍යයන් මඟින් හඳුන්වා දුන් නෛතික ප‍්‍රතිපාදන ද බලපා ඇති බව පැහැදිලිය. ඒ සඳහා නිදසුන් ලෙස 1996 දී එක්සත් රාජධානිය විසින්  පැනවූ විදුලි සංදේශ පත‍්‍රිකාව හා යුරෝපීය රාජ්‍යයන් මඟින් 1997 දී හඳුන්වා දුන් “හරිත පනත” (Green Paper)පෙන්වා දිය හැකිය. එසේම ලොව බොහෝ රටවල් මාධ්‍ය තාක්ෂණය අභිසාරී වීම වැළැක්වීම සඳහා පනවා තිබූ නීති රෙගුලාසි ලිහිල් කිරීම ද මාධ්‍ය අභිසාරිතාව වේගවත් වීම සඳහා බලපා තිබේ.

තාක්ෂණික හා නීතිමය බාධාවන් ඉවත් වීම ඔස්සේ සාම්ප‍්‍රදායික මට්ටමෙන් ක‍්‍රියාත්මක වූ මාධ්‍යයන්වලට අන්තර්ජාලය නැමැති නව මාධ්‍යය තම මාධ්‍ය වෙත අත්පත් ගැනීමට අවස්ථාව සැලසුණි. ඒ මධ්‍යගත සන්නිවේදන ආකෘති (Mediated Communication Forms) පරිගණක උපයෝගී කර ගෙන ක‍්‍රියාත්මක වෙමින් විද්‍යුත් හා ඩිජිටල් ආකෘති ලෙස එක්ව ක‍්‍රියාත්මක වීම ආරම්භ විය.

ජෙකින්ස් ප‍්‍රකාශ කරන පරිදි මාධ්‍ය අභිසාරිතාව ක‍්‍රියාවලි පහකින් සමන්විත වේ. එනම්,

(i).     තාක්ෂණික අභිසාරිතාව

(ii).    ආර්ථික අභිසාරිතාව

(iii).   සමාජයීය හෝ ඓන්ද්‍රීය අභිසාරිතාව

(iv).   සංස්කෘතිකමය අභිසාරිතාව

(v).    ගෝලීය අභිසාරිතාව

යනුවෙනි. මෙම ප‍්‍රවර්ග කෙරෙහි වෙන්වෙන් වශයෙන් අධ්‍යයනයට ලක්කිරීම ඔස්සේ මාධ්‍ය අභිසාරිත්වය වඩාත් පුළුල් ප‍්‍රවේශයක් යටතේ අවබෝධ කර ගත හැකිවේ. ඒ ඔස්සේ තාක්ෂණික අභිසාරිතාව ලෙස හඳුනාගත හැකි වන්නේ සියලුම මාධ්‍ය අන්තර්ගතයන් අංකිතකරණය වීම නිසා රූප, ශබ්ද ආදී සෑම පඨිතයක්ම අංකිත තොරතුරු බවට පත්වීම මඟින් තොරතුරු විස්තාරණය පුළුල් වී තිබීමයි. මෙහි ආර්ථික අභිසාරිතාව යනු එක් ආයතනයක් මඟින් රූපවාහිනී නාලිකා, චිත‍්‍රපට නිෂ්පාදන සමාගම්, වෙබ් අඩවි වැනි කර්මාන්ත ගණනාවක හිමිකාරිත්වය දැරීම හා ඒවා පාලනය කිරීමයි. එසේම සමාජයීය හෝ ඓන්ද්‍රීය අභිසාරිතාව ලෙස හඳුනාගත හැකි වන්නේ නව තොරතුරු පරිසරය හැසිරවීම සඳහා පාරිභෝගිකයා විසින් බහුකාර්ය උපක‍්‍රම අනුගමනය කිරීමයි. එමෙන්ම සංස්කෘතිකමය අභිසාරිතාවය වනුයේ නව ආකාරයේ නිර්මාණාත්මක ආකෘතිවලට විවිධාකාර මාධ්‍ය තාක්ෂණයන්, කර්මාන්ත සහ පාරිභෝගිකයින් අතිච්ඡාදනය කළ හැකි වීමේ ශක්‍යතාවයි. තව ද ගෝලීය අභිසාරිතාවය යනු ගෝලීය වශයෙන් මාධ්‍ය අන්තර්ගත සංසරණය වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් සංස්කෘතික දෙමුහුම්කරණයක් ඇති වීම ඔස්සේ “ගෝලීය ගම්මාන සංකල්පය” අත්විඳීමට හැකියාව ලැබීමයි.

මේ අනුව මාධ්‍ය අභිසාරිතාව නැමැති සංකල්පය පිළිබඳ ප‍්‍රවේශ ගණනාවක් ඔස්සේ අවධානයට යොමු කළ හැකිය. විශේෂයෙන්ම ගෝලීය වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් පවතින මාධ්‍ය අභිසාරිතාවයේ ස්වභාවය සැලකීමේ දී ගෝලීය තොරතුරු ප‍්‍රවාහය දැවැන්ත සමාගම් හතක් විසින් පාලනය කිරීම තුළ බිලියන ගණනක් වන ලෝක වාසීන්ගේ අනාගත ඉරණම තීරණය වේ. ඒ ඔස්සේ අවවරප‍්‍රසාදිත සමාජ ස්ථර නියෝජනය කරනු ලබන බහුතරයකගේ සිතුම් පැතුම් අධිවරප‍්‍රසාදිත සුළුතරයක් මඟින් ධනවාදී අපේක්ෂා අනුව විචලනය කිරීම මාධ්‍ය අභිසාරිතාව ඔස්සේ උත්කර්ෂයට නැංවී ඇති නූතන ලෝකය හමුවේ පවතින දැවැන්තම අභියෝගයයි.

ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන මාධ්‍ය අභිසාරිත්වයේ ස්වභාවය

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය දෙස අවධානය යොමු කිරීමේ දී ඒවායේ හිමිකාරිත්වය ප‍්‍රවර්ග ද්විත්වයක් ඔස්සේ අවධානයට යොමු කළ හැකිය. එනම් මාධ්‍ය කර්මාන්තයේ නියැලෙන රාජ්‍ය මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍ය වශයෙනි. එහි දී මෙම ප‍්‍රවර්ග ද්විත්වයටම අයත් පුවත්පත්, රූපවාහිනී සහ ගුවන්විදුලි  නාලිකා මෙන්ම වෙබ් අඩවි සම්බන්ධව අධ්‍යයනය කිරීම මඟින් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන මාධ්‍ය අභිසාරිත්වයේ ස්වභාවය අවබෝධ කර ගත හැකි වේ.

පෞද්ගලික හිමිකාරිත්වය යටතේ මෙරට ක‍්‍රියාත්මක වන මාධ්‍ය ආයතන කිහිපයක් පිළිබඳව මෙසේ අවධානය යොමු කළ හැකිය. එනම් Power House Company, Asia Broadcasting Corporation, EAP සමූහ ව්‍යාපාරය, Maharaja Broadcasting Corporation සහ Telshan Networks මෙහිදී අධ්‍යයනය පිණිස තෝරා ගනු ලබන ආයතන වේ. මෙම ආයතන මඟින් රූපවාහිනී, ගුවන්විදුලි, සිනමා සහ වෙබ් අඩවි වැනි කර්මාන්ත ගණනාවක් පාලනය කිරීම ඔස්සේ මාධ්‍ය අභිසාරිත්වයට අදාළව ගොඩනැඟෙන ආර්ථික අභිසාරිතාවය මෙසේ පෙන්වා දිය හැකිය.

ආයතනයේ
නම
හිමිකාරිත්වය
දරණ රූපවාහිනී
නාලිකා
හිමිකාරිත්වය
දරණ ගුවන්විදුලි
නාලිකා
හිමිකාරිත්වය
දරණ වෙබ් අඩවි
හිමිකාරිත්වය
දරණ සිනමා ආයතන
හා වෙනත් විනෝදාස්වාදන
ආයතන

Power House Company

Ada Derana 24X7

TV Derana

FM Derana

Adaderana.lk

 

 

Asia Broadcasting Corporation

Hiru TV

Hiru FM

Gold FM

Shaa FM

Hirunews.lk

 

EAP සමූහ ව්‍යාපාරය

ETV

Swarnavahini

E FM

Shree FM

RanOne FM

Liveat8.lk

EAP Films

Capital Maharaja

Sirasa TV

Shakthi TV

TV 1

Shakthi FM

Sirasa FM

Y FM

Yes FM

Legends FM

NewsFirst.lk

M Enternainment

Telshan Networks

TNL TV

Isira

 

 

(පුවත් වෙබ් අඩවි පමණක් මෙහි අන්තර්ගත කර ඇත.)

තවද රජයේ හිමිකාරිත්වය දරණ මාධ්‍ය ආයතන දෙකක තොරතුරු මෙසේ දැක්විය හැකිය.

ආයතනයේ
නම

හිමිකාරිත්වය
දරණ රූපවාහිනී
නාලිකා

හිමිකාරිත්වය
දරණ ගුවන්විදුලි
නාලිකා

හිමිකාරිත්වය
දරණ වෙබ් අඩවි

Sri Lanka Rupavahini
Corporation

Channel Eye

Rupavahini

 

Rupavahininews.lk

Independent Television Network

ITN

Lakhanda

Vasantham FM

Lakhandanews.lk

 

(පුවත් වෙබ් අඩවි පමණක් මෙහි අන්තර්ගත කර ඇත.)

ඒ අනුව ඉහත ආකාරයට රාජ්‍ය හා පුද්ගලික හිමිකාරිත්වය දරණ ආයතන විසින් රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා, ප‍්‍රවෘත්ති වෙබ් අඩවි හා වෙනත් විනෝදාස්වාදන ආයතන පවත්වාගෙන යනු ලබන බව අධ්‍යයනය කළ හැකිවේ. එමඟින් ආයතනික හිමිකාරිත්වයේ දෘෂ්ටිවාදය වඩාත් සාර්ථක ලෙස ජනතාව අතර තහවුරු කිරීමට උත්සාහ කෙරේ. එසේම මෙම විග‍්‍රහය ඔස්සේ මාධ්‍ය අභිසාරිතාවයේ න්‍යායාත්මක පසුබිම එහි දේශීය හා ගෝලීය ස්වරූපය හා එයින් ඇති කරනු ලබන බලපෑම් පිළිබඳව කරුණු ගෙනහැර දැක්වීමටද කටයුතු කරනු ලැබූ අතර එමඟින් මාධ්‍ය ක‍්‍රියාකාරිත්වය හා ඒ හා බැඳුණු සංකීර්ණ ආර්ථික, දේශපාලනික හා සමාජයීය සාධක විචාරශීලීව අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කළ හැකිය.

ආශ්‍රිත මූලාශ්‍ර

Shram. W.Mass Communication (In Psychology and Communication) Forum Series.

Oxford Dictionary, 2016. (http://www.oxforddictionaries.com/definition/english/communication)

Merriam – Webster’s Collegiate Dictionary, 2016

Morton, J. (2000). The Emergence of Convergence. American Journalism Review.

Colon, A. (2000). The Multi Media News Room. Columbia Journalism Review.

Fidler, R.F. (1997). Mediamorphosis ; Understanding New Media, Thousand Oaks, Pine Forge.

Blackman, C.R. (1998), ‘Convergence between telecommunications and other media: how should Regulation adapt?’, Telecommunications Policy, Vol. 22, No. 3.

Jenkins, H. (2001). Convergence; I Diverge Technology Review, Retrieved on October 22nd of 2013. (http://phase1.nccr-trade.org/images/stories/jenkins_convergence_optional.pdf)

elpub.scix.net/data/works/att/237elpub2004.content.pdf

මහේන්ද්‍ර, එස්. (2001). සන්නිවේදන ගවේෂණ, ඇස්. ගොඩගේ ප‍්‍රකාශකයෝ, කොළඹ 10.

වඩුගේ, අජිත් ප‍්‍රියන්ත. (2008). යුරෝපා චිත‍්‍ර හා මූර්ති කලාවේ ඉතිහාසය, අකුර පොත් ප‍්‍රකාශකයෝ, මීගමුව.

ජිනදාස, මනෝජ් පුෂ්පකුමාර. (2012). මාධ්‍ය හා නව මාධ්‍ය ඉතිහාසය, කර්තෘ ප‍්‍රකාශන.

විජේකෝන්, චන්දන. (2007). පුවත්පතේ කතන්දරේ, ඇස්. ගොඩගේ ප‍්‍රකාශකයෝ, කොළඹ 10.

Comments

comments