ගැටහැවෙල පුංචි මැණිකාගේ පොඩි එකාගේ ස්වයං චරිතාපදානය හෙවත් සන්නස්ගලගේ “අම්මා”

ගැටහැවෙල පුංචි මැණිකාගේ පොඩි එකාගේ ස්වයං චරිතාපදානය හෙවත් උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ “බඩගින්නට එරෙහි අරගලයේ කතාව” ලෙස මම ඔහුගේ “අම්මා” පොත නම් කරමි. මන්දයත් මේ ඔහුගේ අම්මා පිළිබඳ කතාව වනවා සේම මෙය ඔහු නොකියා කියන ඔහුගේ අර්ධ චරිතාපදානයයි. අම්මා යනු එකී කතාවට සිය ප්‍රාණය පෙවූ අතිඋත්තම මනුෂ්‍යාත්මයයි.

නූතන සාහිත්‍ය ලෝකයට ගෝර්කිගේ අම්මාගෙන් පසු දෙවෙනි වතාවට අම්මෙක් වැදීමට වින්නඹුකම් කරන්නේ සන්නස්ගලය. ඔහුගේ පෙරළිකාර ජීවිතයත්, කුසේ යුද්ධයට එරෙහිව කළ සටනත් අම්මගේ ආදරයත් තුළ ඔහු සිය අනන්‍යතාව මේ කොදෙව් භූමියේ ගොඩනඟා ගනියි. විටෙක අම්මා ඔහුගේ අප්‍රතිහත උත්සහයේ වස්තු බීජය වනවා සේම තවත් විටෙක එය ඔහුගේ මානසික පීඩනයේ ස්වයං පාපොච්චාරණය බවට ද පත්වේ. නූතන සංස්කෘතික ලෝකයට ගන්ධබ්බයෙකු ලෙස පහළ වී එකී සංස්කෘතියට එරෙහිව යමින් තමාගේම සංස්කෘතික තුවක්කුවෙන් අම්මා නැමති කතාව හරහා සිය හෘද සාක්ෂියට වෙඩි තබා ඔහු එය අපට නිරුවත් කොට පෙන්වයි. එබැවින් මෙය මෙතෙක් කල් අප සන්නස්ගල පිළිබඳ දැන සිටි තතු ප්‍රමාණය මහා සීමාවක් කරා රැගෙන යයි. පොත නොකියවා පොත ගැන විවරණ සපයන ඇතමුන්ට මෙය අම්මා මාකට් කර ගැනීමක් වුවත් මට අනුව නම් මෙය අම්මාට වඩා සන්නස්ගල තමා විසින් තමාවම මාකට් කර ගැනීමකි.

මෙම කෘතිය ඇස් දෙක නොතෙමී කියවන්නට බැරි කෘතියක් වශයෙන් මා සඳහන් කරමි. මන්ද යත් සැබැවින්ම එය මෙම පොත කියවන මොහොතක් පාසාම මා අත්විඳි දෙයක් වන බැවිනි. වාච්‍යාර්ථයෙන්ම එය සත්‍යයකි. පොතේ පාඨකයන් වන අපට සන්නස්ගලගේ අම්මා ඇසුරින් අපේ අම්මාව මෙතරම් දැනෙන්නේ නම් සිය අම්මා පිළිබඳ පශ්චාත්තාපී රචනයක යෙදෙන සන්නස්ගලට සිය අම්මාව කෙතරම් දැනෙන්නට ඇත්ද? එබැවින් මෙය ඔහුගේ හෘද සාක්ෂියේ හරස්කඩයි. නොඑසේ නම් සිය ජීවන කතාවේ සදාකාලික වීරවරිය පිළිබඳ කතාවයි. එසේත් නැති නම් අතිඋත්තම දෙව්දුව පිළිබඳ කතාවයි.

තම පියයුරෙන් කිරි පොවා ජීවිතය දුන් තම පුතුට සිගරට් බීමට දී මරණයට පාර කපන්නේ ද අම්මාය. එක අතකින් එම ප්‍රකාශය සුදු අම්මාව කළු කරන ප්‍රකාශයකි. තවත් ලෙසකින් උත්තම බුදු පදවි පතන අම්මා අපායට ඇද දමන්නකි. නමුත් සන්නස්ගලගේ පැත්තෙන් මෙය සත්‍යයකි. මා ද පොත කියවන තුරු විශ්වාස නොකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය වන්නේ එයයි. පොතට අනුව එය මෙසේය.

“උඹට හීතලයි නම් මේක බීපං”

දවසක් මා හත අට පන්තිවල සිටින කාලයේදී පාඩම් කරන විට අම්මා බ්‍රිස්ටල් සිගරට් දෙකක් මගේ කර්පන්ටයින් ලෑලි මේසය උඩින් තියන ගමන් කීවා ය.
( උ. ශා. සන්නස්ගල, අම්මා, පරි. 19, 299 වන පිටුව )

කෙසේ වුවත් සන්නස්ගල මෙය සටහන් කරන්නේ අම්මා පිළිබඳ චෝදනා මුඛයෙන් නොවේ. අම්මා එසේ කරන්නේ ඔහුට ඇති ආදරය නිසාවෙනි. එය වරදක් වී පසුකාලීනව පොඩි පුතාගේ ජීවිතයට පිළිකාවක් වූ බව අම්මා පසුව තේරුම් ගනියි.

“මං උඹට පුරුදු කළේ නොදන්නාකමට; ඔය ජරා පුරුද්ද දරුවෝ ගැන හිතල නවත්තපං මගේ පුතේ.”
( උ. ශා. සන්නස්ගල, අම්මා, පරි. 19, 301 වන පිටුව )

හැම අම්මෙක්ම එලෙසය. සන්නස්ගලගේ අම්මා, ගෝර්කිගේ අම්මා, අපේ අම්මා කියා වෙනසක් නැත. එබැවින් අම්මා යනු විශ්ව භාෂාවකි. අපටත් තේරෙන සතුන්ටත් තේරෙන විශ්වයේ ඇති එකම භාෂාව එයයි. එය විශ්වයේ ආරම්භයේ සිටම අවසානය තෙක්ම පවතී.

සන්නස්ගලගේ මෙම ආත්ම ප්‍රකාශනය ඔහුට අනුව නම් ඉතිහාසයෙන් පලිගැනීමකි. නැතහොත් ඔහුට මඟහැරුණු අම්මාගෙන් සමාව අයැදීමකි. කෙසේ වුවත් මට නම් එය හිතුවක්කාර පෙරළිකාරයෙකුගේ අතිශය අව්‍යාජ ලේඛනයකි. එම ලේඛනය ඔහු සටහන් තබන්නේ මව්කිරි පොවන ලද පන්හිඳකින් වුවත් ඔහුගේ අනිත් අතේ අතැඟිලි අතර රඳවාගෙන සිටින්නේ සිගරට්ටුවකි.

ආශ්‍රිත ලිපි
පිරිමි ජීවිත විනිවිදින සන්නස්ගලගේ පිරිමින්ට එරෙහි පාපොච්චාරණය

Comments

comments

2 comments

  1. සැබෑ ජිවිතයේ අම්මට නොසලකු සන්නස්ගල …මවගේ මරණය අවසානයේ එයද මාකට් කළේය ..ධනවාදය ක්‍රියාත්මක වන විදිහ පිළිබඳව හොඳ අවබෝධයක් සන්නස්ගල සතුව ඇත ..ඔහු හොඳ ව්‍යාපාරිකයෙකි …කියවා රස විඳින්නේ තමන්ගේ ආසාව නිසා මෙය පොතක් විදිහට කියවා රස විඳිය හැකි කෘතියකි එයට ඇති එකම බාදාව සන්නා සහ ඔහුගේ මව පිළිබඳව අපි දැනගෙන සිටීමය

    • ඔව්. අපි මේ කෘතිය රස විඳිය යුත්තේ සන්නස්ගල කියන පුද්ගල චරිතය බැහැර කරලා. ඒත් ඒක කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ කොහොම වුණත් මේ කෘතිය තමන්ගේ කරගෙන රසවිඳීමට ඒක බාධාවක් වෙන්නෙ නෑ.

Please comment using your facebook account.