Love and Life තුළින් වේදිකාව ජය ගන්නා බවට වසර තුනකට පෙර එස්.අයි. සමරක්කොඩි ලබාදුන් ඉඟිය

ලාංකේය වේදිකා නාට්‍ය කලාවට නව සම්ප්‍රදායක් හඳුන්වාදෙමින් හා ඒකාකාරී නාට්‍ය ශෛලියට පර්යේෂණාත්මක උත්සාහයක් ඔස්සේ පිළිතුරු සපයමින් එස්.අයි. සමරක්කොඩි විසින් නිර්මාණය කළ Love and Life නිහඩ වේදිකා රංගය දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද ප්‍රේක්ෂක අවධානයට ලක්වූ අති සුවිශේෂී වේදිකා නාට්‍යයක් වශයෙන් පෙන්වා දිය හැකිය. විශේෂයෙන්ම වාචික භාෂාව ඔස්සේ ආමන්ත්‍රණය කළ හැකි සීමිත ප්‍රේක්ෂකයින් පිරිසට වඩා ශාරීරික භාෂාව ඔස්සේ අසීමිත ප්‍රේක්ෂකයින් පිරිසකට ආමන්ත්‍රණය කරමින් දරු-දෙමව්පිය සම්බන්ධතා පිළිබඳ ඉතා සංවේදී කතා තේමාවක් සාකච්ඡාවට බඳුන් කරනු ලබන මෙම නිර් වාග්මය පඨිතය ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ එක් සුවිශේෂී සංධිස්ථානයකි.

මීට වසර තුනකට පෙර එනම් 2014 වර්ෂයේ දී මාගේ අධ්‍යයන කාර්යයක් සඳහා එස්.අයි. සමරක්කොඩි සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු විසින් ඔහුගේ මෙම නව අත්හදාබැලීම පිළිබඳ පළමු වතාවට ඉඟියක් ලබා දුන්නේය. එළඹෙන ජූලි 25 වන දින සිට අගෝස්තු 3 වන දින දක්වා බොස්නියාවේ පැවැත්වෙන කෙස්ටන්බර්ග් නාට්‍ය උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Love and Life වේදිකා නාට්‍යය ඉදිරිපත් වීමට නියමිත බැවින් ඒ පිළිබඳ එස්.අයි. සමරක්කොඩිට සුභ පතමින් වසර තුනකට පෙර මා ඔහු සමඟ පැවැත්වූ එම සම්මුඛ සාකච්ඡාව මෙසේ පළ කරමි.    

“සිහින පුරය – පුෂ්පෙ
ඉඳුවරී – නිමල්
අමා – සෙල්වම්
පාරමී – බඹරා”

ආදී වූ ටෙලි නාට්‍ය මෙන්ම වේදිකා නාට්‍ය හා චිත්‍රපට ගණනාවකින් අප හමුවට එන තරුණ පරපුරේ අති දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස එස්. අයි. සමරක්කොඩි හැඳින්විය හැකිය.

  • ඔබ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

මම පොඩි කාලෙ ඉඳන් නාට්‍ය කළා. ඒ ලෙවල් ඉවර වෙලා කරුණාසේන ජයලත් අනුස්මරණ සංස්කෘතික මධ්‍යස්ථානෙ නාට්‍ය පාඨමාලාවක් කළා. ඒ ප්‍රේම කුමාර කරුණාරත්න සර් යටතෙ. ඊට පස්සෙ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ එක් අවුරුදු පාඨමාලාවක් කළා. ඒකෙ ඉද්දි හෙන්රි ජයසේන මහත්තයා මාව එයාගෙ හුණුවටේ කතාව වේදිකා නාට්‍යට සම්බන්ධ කර ගත්තා. ඒ අනුව මං මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවෙ රඟපෑවෙ දෙදහස් හතරෙ පෙබරවාරි වල ලයනල් වෙන්ට් එකේ පෙන්නපු හෙන්රි ජයසේන මහත්තයගෙ හුණුවටේ කතාව වේදිකා නාට්‍යයේ.

  • ටෙලි නාට්‍ය වලට ඔබේ ආගමනය සිද්ධ වෙන්නෙ කොහොමද?

මං ජනකලාවෙ ඉගෙන ගන්න කාලෙ ලිලන්ත කුමාරසිරි කියන මහත්තයා අන්දර වැට කියලා ටෙලි නාට්‍යයක් කළා. අපෙ නාට්‍ය පන්තියෙ ළමයි තමා ඒකට ගත්තෙ. මටත් ඒකෙ පොඩි චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක තමා මගෙ මුල්ම ටෙලි නාට්‍යය. ඒක විකාශය වුණේ දෙදහස් තුනේ අයි.ටී.එන්. නාලිකාවෙ.

  • එතකොට ඔබ සිනමාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

මුලින්ම මං ජයන්ත චන්ද්‍රසිරිගෙ ගරිල්ලා මාකටින් ෆිල්ම් එකේ රඟපෑවා. ඊට පස්සෙ චිත්‍රපටි කිහිපයක රඟපෑවා. කිං හන්තර්, සිකුරු හතේ, සඳලු තලෙන් එහා  චිත්‍රපට වලත් හිටියා.

  • ඔබ රඟපාපු ටෙලි නාට්‍ය ගැන කතා කළොත්

මං ටෙලි නාට්‍ය පනහකට වැඩි ප්‍රමාණයක රඟපාලා තියෙනවා. මං කැම්පස් සිලෙක්ට් වෙනකොට මං රඟපාපු ටෙලි නාට්‍ය හතක් නාලිකාවල විකාශය වුණා. කැම්පස් ආවට පස්සෙ නම් මට රඟපාන්න ලැබුණෙ ටෙලි නාට්‍ය දෙකක විතරයි. ඒ මගෙ අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න ඕන නිසා.

  • ටෙලි නාට්‍ය වල ඔබ රඟපෑව චරිත අතරින් ප්‍රේක්ෂක කතාබහට ලක්වුණ චරිත මොනවද?

වසූදා, ඉසුරු භවන, අමා, ඉඳුවරී, ඉටි මල්, සිහින පුරය, පාරමී වගේ ටෙලි නාට්‍ය කිහිපයක මං කරපු චරිත වලින් මාව ප්‍රේක්ෂකයො අතර කතාබහට ලක්වුණා.

  • ටෙලි නාට්‍ය වල රඟපෑව චරිත අතරින් ඔබ වඩාත්ම ප්‍රිය කරන චරිතය මොකක්ද?

පාරමී ටෙලි නාට්‍යයේ බඹරා කියන චරිතයට මං ගොඩක් කැමතියි. ඊට අමතරව ඉඳුවරී එකේ නිමල්, සිහින පුරේ පුෂ්පෙ, අමා එකේ සෙල්වම්, ඉසුරු භවනෙ පියන් ලලිත් වගේ එකිනෙකට වෙනස් චරිත මං කරපු නිසා ඒ හැම එකකටම කැමතියි. ඉටි මල් නාට්‍යයේ කළේ අතුල කියලා නපුංසක චරිතයක්. ඒකත් මං කරපු චරිත අතරින් සුවිශේෂී එකක්.

  • ඔබ වැඩිපුරම කැමති වේදිකාවටද, ටෙලි නාට්‍ය වලටද එහෙමත් නැතිනම් සිනමාවටද?

මං වැඩිපුරම කැමති වේදිකාවට. මං හිතනවා මගේ වැඩි දක්ෂතා එළියට එන්නෙ වේදිකාවෙන් කියලා.

  • ඔබේ රංගන හැකියාවන් ඇගයීමට ලක්වුණ අවස්ථා එහෙම තියෙනවද?

ඔව්. 2010 රාජ්‍ය නාට්‍ය උළෙලෙදි මගෙ කොන්ක්‍රීට් ආදරය කියන නාට්‍යයට මට ජූරියේ විශේෂ රංගන කුසලතාවයක් හිමිවුණා. ඊට අමතරව හෙලෝ නාට්‍යයට සබරගමුව පළාතෙ හොඳම නළුවා සම්මානය හම්බුණා. ඒ වගේම වේදිකාවෙන් මහ පොළොවට නාට්‍යයෙන් හොඳම නළුවට මාව නිර්දේශ වෙලා තියෙනවා. මේවට අමතරව මං දෙපාරක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න නාට්‍ය වලට විදේශ රටවල් වලට ගිහින් තියෙනවා. 2010 ඊජිප්තු කයිරෝ ඉන්ටර්නැෂනල් එක්ස්පෙරිමෙන්ටල් තියටර් ෆෙස්ටිවල් එකට සහභාගි වුණා. 2011 කත්මණ්ඩු ඉන්ටර්නැෂනල් තියටර් ෆෙස්ටිවල් එකටත් මං ගිහින් තියෙනවා. ඒකට ගියෙ චාමික හත්ලහවත්තගේ හරි අපූරු දවසක් වේදිකා නාට්‍යයෙන්.

  • ටෙලි නාට්‍ය හා සිනමාවත් එක්ක වේදිකාවට ප්‍රේක්ෂකයන් ආකර්ෂණය වීමේ අඩුවක් තියෙනවද?

අඩුවක් දක්නට ලැබෙන්නෙ නැහැ. ඉස්සර කාලෙට වැඩිය මේ දවස් වල වේදිකාවට ප්‍රේක්ෂකයන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. යුද්දෙන් පස්සෙ මිනිස්සුන්ට ලැබුණු නිදහසත් එක්ක මිනිස්සු වේදිකාවට යොමු වෙලා තියෙනවා. ඒ වගේම රූපවාහිනියෙ යන ඒකාකාරී ටෙලි නාට්‍ය රටාවෙන් ඈත්වෙලා සමහරු වේදිකාවට එකතුවෙන ප්‍රවණතාවයකුත් දක්නට ලැබෙනවා.

  • දැනට වසර ගණනාවකට පෙර බිහිවුණ මනමේ, සිංහබාහු, කැළණි පාලම, නරි බෑණා වගේ නාට්‍යත් එක්ක ගත්තම අද බිහිවෙන නාට්‍ය දින කිහිපයකින් වේදිකාවෙන් ඉවත් වෙනවා. ඒ වගේම ඒ බිහිවෙන නාට්‍ය වල ගුණාත්මකභාවයේ අඩුවකුත් දක්නට ලැබෙනවා නේද?

ගුණාත්මකභාවය නෑ නෙමෙයි. ඒකට හේතුව දැන් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක සමහර නාට්‍ය එක එක ප්‍රශ්නත් එක්ක දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මනමේ, සිංහබාහු වුණත් කාලෙන් කාලෙට පවත්වගෙන යද්දි ඒකෙ ඉන්න කට්ටිය වෙනස් වෙනවා. ඒ වෙනුවෙන්ම කැපවෙලා ඒක කරගෙන යන්න ඕනෙ. දැන් තියෙන ආර්ථික ප්‍රශ්න හා අනෙකුත් ප්‍රශ්නත් එක්ක එහෙම දීර්ඝ කාලයක් නාට්‍ය පවත්වගෙන යන්න බැරි වෙලා තියෙනවා.

  • ඇතමුන් ප්‍රකාශ කරනවා නළුකම වෘත්තියක් විදිහට කරගෙන යන්න තරම් තත්ත්වයක් තාම ලංකාවෙ නෑ කියලා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?

තමන්ට හැකියාව තියෙනවා නම් තමන් කරන භූමිකාත් එක්ක අනිත් කලාවන්ට වැඩිය ලංකාව තුළ නළු කලාවෙන් ජීවත් වෙන්න පුළුවන්. මේක ස්ථීරව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒත් මේ රැකියාව කරන කාලය තුළ හොඳ ආදායමක් ලබමින් මේ කාර්යයේ නිරත වෙන්න පුළුවන්. තමන් හොඳ චරිතාංග නළුවෙක් නම් තමන්ට දක්ෂතාව තියෙනවා නම් මේ ක්ෂේත්‍රයේ හැමදාම වැඩ තියෙනවා.

  • මේ ක්ෂේත්‍රයේ ඔබට තියෙන ඉදිරි බලාපොරොත්තු මොනවද?

ලංකාවෙ මෙතෙක් කල් බිහි නොවුණු අලුත්හදා බැලීමක් කරන්න මේ දවස් වල සූදානමින් ඉන්නවා. ඒක අලුත් රංග රීතියක්. මේ තාක් ලංකාවෙ වේදිකාවෙ එහෙම දේවල් වෙලා නෑ. නැටුම් වල ඉස්සර කෝලම් වල ඒකෙ ආභාසය ඇතුව වෙලා තියෙනවා. නමුත් වේදිකා නාට්‍යයක් විදිහට වෙලා නෑ. ඒක අත්හදා බැලීමක් විදිහට කරන්න මං මේ දවස් වල ලක ලැහැස්ති වෙමින් ඉන්නවා.

  • මේ තාක් දුරට එන්න ඔබට උදව් කරපු අය ගැන කෙටියෙන් මතක් කළොත්

මගෙ මුල් ගුරුවරයා ප්‍රේම කුමාර කරුණාරත්න මහතා. ඊට අමතරව මං රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ප්‍රසන්නජිත් අබේසූරියගෙන්. දෙදහස් තුනේ විතර ඉඳන් මං එතුමත් එක්ක ඉන්නවා. ඒ වගේම ගිරිරාජ් කෞෂල්‍ය මහතාත් මට ගොඩක් උදව් කරලා තියෙනවා.

එස්.අයි. සමරක්කොඩිගේ Love and Life නාට්‍යය අැතුළුව ඔහුගේ නිර්මාණ පිළිබ‍ඳ සහ ඔහුගේ රංගන කාර්යයන් පිළිබඳ දැන ගැනීමට පහත සබැඳියෙන් ඔහුගේ YouTube චැනලය වෙත පිවිසී එය Subscribe කළ හැකිය.

S.I. Samarakkodi YouTube Channel

Comments

comments