ගම්පොළ රාජධානි සමයේ දේශපාලන තත්ත්වය හා චීන සෙන්පති “චෙං හෝ” ගේ ආක්‍රමණය

ලාංකිකයින් වන අපට අප රටේ ඉතිහාසය සම්බන්ධයෙන් දැනුම පැවතීම අත්‍යවශ්‍ය වන බව මාගේ හැඟීමයි. එනම් අප කවර වෘත්තියක නියැලුණ ද ඉතිහාසය පිළිබඳ කරුණු කියවීම හා පුරුද්දක් වශයෙන් ඒවා පිළිබඳ අධ්‍යයනය කිරීම වැදගත්ය. එබැවින් විෂයක් වශයෙන් ඉතිහාසය හැදෑරීමෙන් මා ලද දැනුම භාවිතයෙන් බ්ලොග් මාධ්‍යයෙන් දැනුම සොයා යන පාඨකයින්ගේ ඉතිහාස දැනුම වර්ධනය කිරීම සඳහා ඉතිහාසයේ සිදුවූ වැදගත් ඓතිහාසික සිදුවීමක් පිළිබඳ ලිපියක් මෙසේ රචනා කිරීමට සිතුවෙමි.

(රූපය: ප්‍රසන්න වීරක්කොඩි විසින් නිර්මාණය කරන ලද සිතුවමකි.)

අතීතයේ දී මෙරට රාජධානි කිහිපයක් යටතේ පාලනය වූ බව ඉතිහාසය හැදෑරීමේ දී පෙනී යයි. එසේ අනුරාධපුර රාජධානි සමයෙන් ආරම්භ වී විවිධ ප්‍රදේශ වලට මෙම රාජධානි සංක්‍රමණය වී ගම්පොළ ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ද රාජධානියක් බිහිවේ. ගම්පොළ රාජධානි සමය වශයෙන් ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී අප විසින් හඳුනාගනු ලබන මෙම අවධිය ක්‍රි.ව. 1341 සිට ක්‍රි.ව. 1415 දක්වා පැවති බව ඓතිහාසික සාධක අනුව නිගමනය කිරීමට හැකිවේ.

ගම්පොළ රාජධානි සමයට පෙර මෙරටේ පැවති රාජධානිය වන්නේ කුරුණෑගල රාජධානියයි. මෙම කුරුණෑගල රාජධානියේ අවසන් සමය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වන්නේ ගම්පොළ රාජධානියේ බිහිවීම සඳහා එම දේශපාලන තත්ත්ව බලපෑ බැවිනි.

ක්‍රි.ව. 1300 පමණ සිට ක්‍රි.ව. 1341 පමණ වන තෙක් පැවති කුරුණෑගල රාජධානි අවධියේ අවසන් සමයේදී එනම් ක්‍රි.ව 1326 සිට ක්‍රි.ව. 1341 දක්වා වන අවධියේ දී දේශපාලනික වශයෙන් යම් ව්‍යාකූල තත්ත්වයක් පැවති බව පෙනේ. මෙම අවධියේ දී තුන්වන බුවනෙකබාහු හා සවුළු විජයබාහු නැමැති පාලකයින් දෙදෙනෙක් පාලන කටයුතු ගෙන ගිය බවට සඳහන් වන නමුත් ඔවුන්ගේ රාජ්‍ය වර්ෂ සමබන්ධයෙන් පැහැදිලි නැත. එසේම තුන්වන බුවනෙකබාහු වන්නි බුවනෙකබාහු නමින් ද හැඳින්වෙන බැවින් ඇතැම් විට ඔහු වන්නි පාලකයෙකු විය හැකි බවට ද මත පළ වේ. කෙසේ වුවත් කුරුණෑගල රාජධානි අවධියේ අවසන් සමයේ පාලන කටයුතු ගෙන ගිය සවුළු විජයබාහුගේ පුත්‍රයෙකු ඔස්සේ ගම්පොළ රාජධානි අවධිය බිහිවන බව දක්නට ලැබේ.

ඒ අනුව සවුළු විජයබාහුගේ දරුවන් දෙදෙනෙකු වශයෙන් හතරවන බුවනෙකබාහු හා පස්වන පරාක්‍රමබාහු යුවරජවරුන් ලෙස කටයුතු කර ඇති බවට ඉතිහාස තොරතුරු සාක්ෂි දරයි. එනම් පස්වන පරාක්‍රමබාහු දැදිගම ප්‍රදේශයේත් හතරවන බුවනෙකබාහු ගම්පොළ ප්‍රදේශයත් කේන්ද්‍රකර ගනිමින් යුවරජවරු වශයෙන් කටයුතු කර ඇත. අනතුරුව ගම්පොළ ප්‍රදේශය පාලනය කළ පස්වන බුවනෙකබාහු හා තුන්වන වික්‍රමබාහු වැනි පුද්ගලයින් ද යුවරජවරුන් වශයෙන් පාලන කටයුතු ගෙන ගියත් ඔවුන් පූර්ණ බලතල සහිත පාලකයින් වශයෙන් ලිපි ලේඛන ආදිය නිකුත් කිරීමට කටයුතු කර තිබීම හේතුවෙන් රාජ්‍ය වර්ෂ සම්බන්ධයෙන් යම් ව්‍යාකූල තත්ත්වයක් උද්ගත වන බව කිව යුතුය.

නිකාය සංග්‍රහයට අනුව හතරවන බුවනෙකබාහු රජු රාජ්‍යත්වයට පත්වූ බව සඳහන් කරන්නේ ක්‍රි.ව 1347 දීය. ඒ අනුව සවුළු විජයබාහු එතෙක් මෙරටේ ප්‍රධාන පාලකයා වශයෙන් කටයුතු කළ බව උපකල්පනය හැකිය. හතරවන බුවනෙකබාහු ක්‍රි.ව. 1347 සිට ක්‍රි.ව. 1351 දක්වා පාලන කටයුතු ගෙනගිය බව සඳහන් වේ. මෙම අවධියේ දී නිශ්ශංක අලගක්කෝණාර නැමති රයිගම ප්‍රදේශයේ පාලන කටයුතු මෙහෙය වූ ප්‍රභූවරයා ගම්පොළ ප්‍රදේශයේ පාලකයා සමඟ ඥාති සම්බන්ධතා ඇති කර ගෙන සිටියේය. අලගක්කෝණාර වංශයේ නිජ භූමිය වන්නේ රයිගම ප්‍රදේශයයි. අලගක්කෝණාර සේනාධිලංකාර පෙළපතෙන් පැවත එන්නා වූ තුන්වන වික්‍රමබාහුගේ සොයුරියගේ පුත්‍රයෙකි.

මෙසේ මෙකල ගම්පොළ රජ පෙළපතට සම්බන්ධව ඥාති සම්බන්ධතා ඇති කර ගෙන සිටි ප්‍රභූ පවුල් දෙකක් සිටි බවට කරුණු වාර්තා වන අතර ඉන් එක් පවුලක් වන්නේ මෙම අලගක්කෝණාර හෙවත් අලකේෂ්වර වංශයයි. එසේම ඒ අතරින් අනෙක් පවුල සේනාධිලංකාර පවුල වන අතර පස්වන පැරකුම්බාහු රජුගේ සොයුරියක් සමඟ සේනාධිලංකාර ප්‍රභූවරයා විවාහ සම්බන්ධතාවක් ඇති කරගෙන තිබුණි. හතරවන බුවනෙකබාහුගේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සේනාධිලංකාර ප්‍රභූවරයායි.

හතරවන බුවනෙකබාහු රජුගෙන් පසු පස්වන පරාක්‍රමබාහු රජු ගම්පොළ රාජධානියේ පාලකයා බවට පත්වේ. ක්‍රි.ව. 1355 දී හෝ 1359 දී ඔහුට විරුද්ධව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණක් ඇති වන බව දක්නට ලැබේ. එම කැරැල්ල ඇතිවූ බව සඳහන් වන්නේ තුන්වන වික්‍රමබාහු අලගක්කෝණාරගේ සහයෝගය ද සහිතව එවකට උතුරේ පාලන කටයුතු මෙහෙයවමින් සිටි ආර්ය චක්‍රවර්තීන්ගේ  සහය ද ලබා ගනිමිනි. එම කැරැල්ලෙන් පස්වන පරාක්‍රමබාහු බලයෙන් නෙරපා රාජ්‍යත්වයට පත්වීමට තුන්වන වික්‍රමබාහුට අවස්ථාව හිමිවන අතර ඉන්පසු ඔහුගේ ප්‍රධාන අමාත්‍ය ධූරයේ කටයුතු කරමින් රාජ්‍ය පාලනයට සහය වන්නේ නිශ්ශංක අලගක්කෝණාරය.

ක්‍රි.ව. 1374 දී සිදුවන තුන්වන වික්‍රමබාහුගේ මරණයත් සමඟ පස්වන බුවනෙකබාහු ගම්පොළ රාජධානියේ රාජ්‍යත්වයට පත්වේ.  ඉන් ටික කලකට පසු අලගක්කෝණාරගේ මරණය සිදුවීමත් සමඟ ඔහුගේ සහෝදරියකගේ දරුවන් තිදෙනෙක් වන වීර අලකේෂ්වර, අර්ථ නායක හා දේවමන්ත්‍රී නැමැති නිලධාරීන් තිදෙනා රාජ්‍ය පාලනයට සම්බන්ධ වන බව දක්නට ලැබේ.  ඒ අතරින් වීර අලකේෂ්වර කෝට්ටේ සිට පාලන කටයුතු මෙහෙය වන අතර චීන සෙන්පති චෙං හෝගේ ආක්‍රමණය සිදු වන්නේ මොහුගේ අවධියේ දීය.

චෙං හෝ චීනයේ යුං ලෝ අධිරාජ්‍යයාගේ සෙන්පතියෙකි. ක්‍රි.ව. 1409 දී  ඔහු ප්‍රථම වතාවට මෙරටට පැමිණෙන්නේ දළදාව හා ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ අරමුණිනි. කෝට්ටේ පාලන කටයුතු වල නිරත වෙමින් සිටි වීර අලකේෂ්වර චෙං හෝට නිසි ගෞරවයක් ලබා නොදුන් නිසා ඔහු ගෙනා පූජා භාණ්ඩ දෙවිනුවර උපුල්වන් දේවාලයට පුජා කර නැවත යාමට සිදුවූ බව සඳහන් වන අතර ගාල්ලේ ත්‍රිභාෂා ශිලා ලේඛනය චෙං හෝ සෙන්පතියාගේ පළමු ගමනේ දී පිහිටවූවක් බව විද්වතුන්ගේ මතය වේ.

එසේ පළමු වරට මෙරටට පැමිණ නිසි ගෞරවයක් නොලබා චීනයට යන චෙං හෝ සෙන්පතියා නැවත මෙරටට පැමිණෙන්නේ ක්‍රි.ව. 1411 දීය. එවිට පෙර අවස්ථාවේ පැමිණි විට ඔහුට හිමිවූ අගෞරවයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් වීර අලකේෂ්වර ඇතුළු තවත් සිංහල ප්‍රභූවරුන් රැසක් අත්අඩංගුවට ගෙන සිරකරුවන් වශයෙන් චීනයට රැගෙන ගොස් තිබේ. එසේ රැගෙන ගිය ප්‍රභූවරුන් අතර ජයමහාලේන නම් තැනැත්තෙක් ද සිටි බව සඳහන් වන අතර ඔහු ක්‍රි.ව. 1415 දී කෝට්ටේ රාජධානිය කර ගනිමින් රාජ්‍යත්වයට පත්වන හයවන පරාක්‍රමබාහුගේ පියා වශයෙන් සලකනු ලබයි. චීනයට රැගෙන ගිය වීර අලකේෂ්වර චීන අධිරාජ්‍යයා විසින් නිදහස් කොට නැවත මෙරටට එවනු ලැබූ බව චීන මූලාශ්‍රවල සඳහන් වන අතර එසේ ඔහු නැවත එවන්නේ “යෙහිපානයිනා” නැමති පුද්ගලයෙකු රාජ්‍යත්වයට පත් කිරීම සඳහා අණ කොට බව ද වාර්තා වේ. එසේ “යෙහිපානයිනා” නමින් හැඳින්වෙන්නේ සෙන්කඩගල පරාක්‍රමබාහු බව ඒ පිළිබඳ අදහස් දක්වන විද්වතුන් සඳහන් කරයි.

ක්‍රි.ව. 1415 දී කෝට්ටේ රාජධානිය කර ගනිමින් හයවන පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත්වන විට දැදිගම ප්‍රදේශයේ ද පරාක්‍රමබාහු නමින් පුද්ගලයෙක් පාලන කටයුතු ගෙන ගොස් ඇත. අස්ගිරිය තල්පතේ දැදිගම පරාක්‍රම ඈපාගේ පුත්‍රයා වශයෙන් සඳහන් වන මෙම දැදිගම පරාක්‍රමබාහු නැමැත්තාගෙන් ගම්පොළ රාජධානි සමයේ අවසානය සනිටුහන් වීම සිදුවේ.

(මෙම ලිපිය ලිවීමට මා පොළඹවන ලද්දේ සහෝදර බ්ලොග්කරුවෙකු වන ජීවන ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන ඔහුගේ දම්පාට දේදුන්න නැමැති බ්ලොග් අඩවියේ පළවූ “සිංහල රජකු චීනයට පැහැරගෙන ගිය ෂෙන්-හෙ නම් සෙන්පතියා” නැමැති ලිපියයි. ඔහුගේ එම ලිපියට ඌණපූර්ණයක් සැපයිම සඳහා මා විසින් ලියන ලද මෙම ලිපියේ අඩංගු කරුණු ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඓතිහාසික කාරණා සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයන්නෙකුට වැදගත් විය හැකි බව මාගේ විශ්වාසයයි. එබැවින් ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් පාඨක රුචිය අවධි කිරීම සඳහා කටයුතු කළ ජීවන් ප්‍රනාන්දු සොයුරාට මෙහිදී මාගේ ස්තුතිය පළ කරන අතර මිතිල ප්‍රනාන්දු සොයුරා ද මෙහිදී සිහිපත් කරමි.)

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments

2 comments

  1. ඉතිහාස විස්තර කියවන්න මමත් කැමතියි

Please comment using your facebook account.