මත්පැන් වල මිල අඩු කිරීම හා තවත් සමාජ ඛේදවාචක ගණනාවකට අත වැනීම

මත්පැන් පානය සඳහා හුරුවී සිටින තැනැත්තන්ට සහන ලබා දිය යුතු බවට වන ප්‍රකාශයක් ඉකුත් දිනක අසන්නට ලැබුණි. එහෙත් කවර හේතු මත වුවත් මෙවැන්නක් ක්‍රියාවට නැංවීම සුදුසු නොවන බව මාගේ අදහසයි. විශේෂයෙන් ජාතියක් වශයෙන් අප මුහුණ දී සිටින්නා වූ එක් ප්‍රබලතම සමාජ ව්‍යසනයක් වන මත්පැන් උවදුර සමාජයෙන් තුරන් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුව පවතින අවස්ථාවක මෙසේ මත්පැන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම තවත් සමාජ ඛේදවාචක ගණනාවකට මඟ පෑදීමක් වන බැවින් ඒ පිළිබඳව මෙසේ සටහනක් තබමි.

ඉකුත් සතියේ දී ඉදිරිපත් වූ එම ප්‍රකාශය තුළ පෝය දිනයේ දී මත්පැන් අලෙවිහල් වසා තැබීම සිදු වුවත් ඊට පෙර දින මත්පැන් අලෙවිහල් වලින් ඉතා විශාල වශයෙන් මත්පැන් අලෙවි වන්නේ බොහෝ දෙනා පෝය දිනයට පෙර දින විශාල වශයෙන් මත්පැන් මිලදී ගෙන නිවෙස් තුළ ගබඩා කර ගැනීම නිසා වන බැවින් පෝය දිනවලදී මත්පැන් හල් වසා තැබීම අර්ථ විරහිත ක්‍රියාවක් වශයෙන් ඉස්මතු විය.

එසේම මත්පැන් හල් සඳහා බලපත්‍ර ලබා දීම ලිහිල් කළ යුතු බව ද එහිදී ප්‍රකාශ කර තිබූ අතර එමඟින් වර්තමානයේ සෑම නගරයක් පාසාම ඇති මත්පැන් හල් ඉදිරියේ දී තවදුරටත් ව්‍යාප්ත වීම සඳහා එම තත්ත්වය හේතුවක් විය හැකි බව සඳහන් කළ හැකිය. එමඟින් ඕනෑම පුද්ගලයෙකුට මත්පැන් හලක් පවත්වාගෙන යාම සඳහා ඉතා පහසුවෙන් කටයුතු කිරීමට හැකිවීම තුළ ඉදිරියේ දී බොහෝ ව්‍යාපාරිකයින් පිරිසක් ජනතාවගේ ජීවිත බිලිගනිමින් අධික ලාභ ඉපයීමට ඒ ඔස්සේ පෙළඹීය හැකිය. ඒ අනුව මත්පැන් උවදුරෙන් සමාජය මුදවා ගැනීමට කටයුතු කළ යුතු අවධියක මත්පැන් භාවිතයට නැඹුරු වීමට පහසුකම් සැලසීමට ක්‍රියා කිරීම කිසිසේත් සුදුසු නොවේ.

තව ද නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීම සඳහා මත්පැන් වල මිල අඩුකළ යුතු බව ද එහි දී ප්‍රකාශ වී තිබුණි. එහෙත් එය කිසිසේත් සුදුසු ක්‍රියාවක් නොවන්නේ එක් අතකින් ඒ ඔස්සේ නීත්‍යානුකූලව අලෙවි කරනු ලබන මත්පැන් භාවිතය සඳහා වැඩි පිරිසක් යොමුවීමට ඉඩකඩ ඇති අතරම එමඟින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා භාවිතය අවම වේ යැයි කියා විශ්වාස කිරීම ද තරමක් අපහසු බැවිනි. 2016 වසරේ දී බේරුවල දී පැවති රැස්වීමක දී රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් නීතී විරෝධී මත්පැන් ව්‍යාපාරය නතර කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත්, ජනාධිපතිවරයා එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා පොරොන්දු වී ඇති බවත් ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව එවැන්නක් දිවයිනේ සෑම පොලිස් ස්ථානයක්ම ආවරණය වන පරිදි  ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම මත්පැන් වල මිල අඩුකර තවත් වටිනා ජීවිත රටට අහිමි කිරීමට වඩා අතිශයින් වැදගත් වන බව ප්‍රකාශ කළ යුතුය.

එසේම 2015 වසරේදී පැවති සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 64 වැනි සංවත්සරය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රජයට ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන වන රේගු, ආදායම් බදු හා සුරාබදු ආදී  දෙපාර්තමේන්තු වල ව්‍යාපාරික අරමුණු වෙනුයෙන් කිසි විටෙකත් එතුමා පෙනී නොසිටින බවය. තව ද  නීති විරෝධී මෙන්ම නීත්‍යනුකූල මත්පැන් අලෙවි බලපත්‍ර මගින් අලෙවි කරන මත්පැන්වලින්ද මිනිසුන්ට සිදුවන්නේ හානියක් පමණක්ම බව ද එතුමා එහිදී අවධාරණය කළ බව ද වාර්තා විය. තවද ඉකුත් අප්‍රේල් මස දී මල්වතු මහ නාහිමි බැහැ දැකීම සඳහා ගිය මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක අමාත්‍යවරු විසින් ජනාධිපතිවරයාගේ මත්පැන් විරෝධී වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

ඒ අනුව ප්‍රකාශ කළ යුතු වන්නේ මත්පැන් හේතුවෙන් මෙරට සිදුවී ඇති සමාජ ඛේදවාචක අවම කිරීම සඳහා කටයුතු කිරීම රටේ ආණ්ඩුව හමුවේ පවත්නා ප්‍රමුඛතම වගකීමක් වන බවය. එහෙත් මෙසේ මත්පැන් වල මිල අඩු කිරීම තුළින් මත්පැන් භාවිතයට හුරුවී සිටින පුද්ගලයින්ට සහනයක් සැපයීමට උත්සාහ කළ ද එමඟින් මත්පැන් භාවිතය සඳහා නව පරපුරක් හුරු කරවීමට උත්තේජනයක් සපයන බව ද මෙහි දී සිහිපත් කිරීම වැදගත්ය. එබැවින් මෙවැනි දුරාචාර සමාජයෙන් තුරන් කිරීම සඳහා සමාජයට වඩාත් හිතකර ක්‍රියාමාර්ග ඔස්සේ කටයුතු කළ යුතු බවත් අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

Comments

comments