සයිටම් වෙත විරෝධය පා දරුවන් වැරදි කළ පමණින් දෙමව්පියොත් වැරදි කිරීම සුදුසු ද?

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත විරෝධය පාමින් රජයේ වෛද්‍ය සිසුන් මේ දිනවල විවිධ විරෝධතා ක්‍රියාමාර්ග වල නිරත වෙමින් සිටියි. එනම් සත්‍යග්‍රහ ව්‍යාපාර වල නිරත වීම, උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම හා පන්ති වර්ජන වල නිරත වීම මෙන්ම ඉතාම සංවිධානාත්මක ආකාරයෙන් රජයේ ආයතන වල දේපළ වලට හානි කිරීමට ද ඔවුන් විසින් කටයුතු කරමින් සිටින අතර ඔවුන් විසින් සිදු කරන මෙම ක්‍රියා කිසිවක් නිවැරදි හා සාධාරණ යැයි පැවසිය නොහැකිය. මන්ද යත් රජයේ වෛද්‍ය සිසුන් මෙසේ කටයුතු කරමින් සිටින්නේ ඔවුන්ගේ පෞද්ගලික කාලය වැය කරමින් වුවත් ඔවුන්ට වියදම් කරන්නේ මෙරටේ අහිංසක දුප්පත් ජනතාවගේ බදු මුදල්ය. එබැවින් පොදු ජනතාව විසින් ඔවුන්ට වියදම් කරන සෑම සතයකටම ඔවුන් වගකිව යුතුව ඇත.

මෙසේ වෛද්‍ය පීඨ වල සිසුන්ගේ වැරදි සහගත හැසිරීම් හේතුවෙන් දැනටමත් මාස ගණනාවකින් ඔවුන්ගේ උපාධිය සම්පූර්ණ කිරීමේ කටයුතු ප්‍රමාද වී තිබේ. එනම් රටට අවශ්‍ය වෛද්‍යවරු බිහිකිරීමට බදු මුදල් වැය කරන මෙරටේ අසරණ අහිංසක ජනතාවට තවත් මාස ගණනාවක් මෙම වෛද්‍ය පීඨ වල සිසුන් වෙනුවෙන් වැය කිරීමට සිය ධනය කැප කළ යුතුය. මන්ද යත් වෛද්‍ය සිසුන් මෙසේ ඔවුන් ලැබිය යුතු අධ්‍යාපනය නොලබා රටේ මුදල් නිකරුණේ වැය කරමින් සිටිය ද ඔවුන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන මෙරටේ වෛද්‍ය පීඨ වල අනධ්‍යයන සේවකයාගේ සිට මහාචාර්යවරයා දක්වා වන වැටුප් ඇතුළු වෙනත් පහසුකම් සඳහා වැයවන වියදම් පොදු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙමින් තිබේ.

කෙසේ වුවත් වෛද්‍ය සිසුන් එසේ හැසිරෙන විට ඔවුන්ව යහ මඟට ගැනීමට ඔවුන්ගේ දෙමව්පියන් විසින් මූලිකත්වය ගත යුතුය. මන්ද යත් තම දියණිය හෝ තම පුත්‍රයා වෛද්‍ය සිසුවෙකු බවට පත් කිරීම සඳහා දෙමව්පියන් විසින් කැප කිරීම් රාශියක් සිදු කර ඇති බැවිනි. එසේ වුවත් දැන් සිදු වෙමින් ඇත්තේ දරුවන් යහමගට ගැනීමට පෙරමුණ ගත යුතු දෙමව්පියන් ද දරුවන් යන වැරදි මාවතේම යමින් දරුවන්ට එම වැරදි වල තවදුරටත් නිරත වීමට සහයෝගය දක්වමින් කටයුතු කිරීමය. මෙම තත්ත්වය දරුවන්ට දෙමව්පියන් විසින් ලබා දෙන්නා වූ ඉතාම වැරදි පූර්වාදර්ශයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් මෙසේ සටහනක් තබමි.

වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියන්ගේ මෙම වැරදි හැසිරීම පිළිබඳ මාධ්‍ය මඟින් වාර්තා වූයේ ඉකුත් 28 වන දිනය. ඒ අනුව “වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය” නම් සංවිධානයක් විසින් ඉකුත් 28 වන දින විහාර මහා දේවී උද්‍යානය අසලින් පාගමනක් ආරම්භ කර කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණ දුම්රිය ස්ථානය ඉදිරියේ සතියක් පුරා සත්‍යග්‍රහයක නිරතවීමට කටයුතු කර තිබුණි.

දෙමව්පියන් මෙසේ කටයුතු කිරීම එක් අතකින් ඉතාම කණගාටුදායක තත්ත්වයකි. එසේම ඔවුන්ගේ මෙම හැසිරීම තුළ තම දරුවන් විසින් සිදු කරමින් ඉන්නා වූ වැරදි ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමක් මෙන්ම ඒවා ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවට වන පෙළඹවීමක් ද සිදු කෙරේ. එසේම ඉමහත් කැපකිරීමක් කර වෛද්‍ය පීඨයට ඇතුළු කළ තම දරුවාගේ අනාගතය සියතින්ම බිල්ලට දීමක් වශයෙන්ද මෙම ක්‍රියාව පෙන්වා දිය හැකිය.

දෙමව්පියන් විසින් මෙසේ විරෝධතාවයේ නිරත වන්නේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මෙන්ම ශිෂ්‍ය මර්දනයට ද එරෙහි වෙමිනි. එනම් මින් පළමු හේතුව පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පෙනී යන කරුණ වන්නේ ඔවුන්ගේ දරුවන් රජයේ වෛද්‍ය විද්‍යාල වලට පැමිණි නිසා එම දරුවන්ට පමණක් වෛද්‍ය අධ්‍යාපනය ලබා දිය යුතු බව මෙම දෙමව්පියන් විසින් විශ්වාස කරන බවය. නොඑසේනම් වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමේ ඒකාධිකාරිය රජය සතුව පමණක් පැවතිය යුතු බවට මොවුන් විශ්වාස කරන බවය. එහෙත් රජයේ වෛද්‍ය විද්‍යාලයකට තම දරුවා ඇතුළත් කර ගැනීමට මෙම දෙමව්පියන්ට නොහැකි වූවා නම් හැකි උපරිම අන්දමින් මුදල් වැය කර හෝ තම දරුවාගේ වෛද්‍ය සිහිනය ඉටුකිරීමට හා තම දරුවා වෛද්‍යවරයෙකු බවට පත් කිරීමේ තම සිහිනය ඉටු කර ගැනීමට මෙම දෙමව්පියන් විසින් නොපෙළඹෙන්නේද? එසේ නොවේ. එනම් රාජ්‍ය අධ්‍යාපනයෙන් ලැබිය නොහැකි එම තත්ත්වය මුදල් ගෙවා හෝ ඉටු කර ගැනීමට හැකියාවක් පවතියි නම් ඒ සඳහා යොමු වීම මානුෂීය වශයෙන් අතිශයින් සාධාරණය.

එසේ සැලකීමේ දී මෙම දෙමව්පියන් විසින් ද පෙනී සිටින්නේ තම දරුවා වැනි තවත් දරුවන් ගණනාවකගේ අධ්‍යාපන අයිතිය අහෝසි කිරීම සඳහා රජයට බල කිරීමටය. එසේම එම දරුවන්ගේ පෞද්ගලික අධ්‍යාපන අයිතිය තුළ ඔවුන්ගේ දෙමව්පියන්ගේ දහසක් සිහින හා බලාපොරොත්තු ද බැඳී තිබේ. මෙම වෛද්‍ය පීඨ සිසු දෙමව්පියන් විසින් ඉල්ලා සිටින්නේ තමන් වැනිම දෙමව්පියන් පිරිසකගේ එම සිහින හා බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවස්ථාව ලබා නොදෙන ලෙසය. එම ආත්මාර්ථකාමී ඉල්ලීම රජයේ වෛද්‍ය සිසුන් විසින් ඉල්ලා සිටිනවාට වඩා ඔවුන්ගේ කීමට ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉල්ලා සිටීම ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.

තවද ශිෂ්‍ය මර්දනයට එරෙහි වීම ද මෙම වෛද්‍ය පීඨ දෙමව්පියන්ගේ විරෝධතාවට හේතු වී ඇති තවත් කරුණකි. පසුගියදා තම දරුවන් විසින් රජයේ දේපල වලට හානි සිදු කරන විට ඊට එරෙහිව ආරක්ෂක අංශ විසින් කටයුතු කිරීම අසාධාරණ වන්නේ කෙසේද? එසේම එම ක්‍රියාවට සම්බන්ධ වූ “සිසු ත්‍රස්තවාදීන්” මේ දිනවල අත්ඩංගුවට ගැනීම ශිෂ්‍ය මර්දනයක්ද? මන්ද යත් එවැනි පුද්ගලයින් සරසවි සිසුන් අතර සිටීම සමාජයට පීඩාවක් වන බැවිනි. එමෙන්ම අහිංසක දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා සරසවි පැමිණ සිටින මෙම විරෝධතා වලට කිසිසේත් සම්බන්ධ නොවන්නා වූ සිසුන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් කිරීමට ජවිපෙ හා පෙරටුගාමීන්ගේ වැදි බණ අනුව ක්‍රියා කරන පුද්ගලයින්ට දඬුවම් ලබා දීම ශිෂ්‍ය මර්දනයක් වන්නේද?

ඒ අනුව රජයේ වෛද්‍ය පීඨ වල දෙමව්පියන් ද නොදැනුවත්කමින් හෝ මෙසේ දේශපාලන අතකොළු බවට පත්වී වැරදි කරන වෛද්‍ය සිසුන් පසුපස යාම කිසිසේත් නිවැරදි නොවන්නා වූ මුළු මහත් සමාජය විසින්ම හෙළා දැකිය යුතු වන තත්ත්වයක් වශයෙන් පෙන්වා දීම වැදගත්ය. මන්ද යත් වැරදි කරන තම දරුවන් යහ මඟට ගැනීමට ඔවුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු මෙවැනි අවධියක ඔවුනුත් වැරදි පාරේ ගමන් කරමින් දරුවන්ව තවදුරටත් වැරදි වලට යොමු කිරීම සඳහා මෙසේ කටයුතු කරමින් සිටින බැවිනි. එබැවින් මෙම සටහන අවසාන කිරීමට පෙර සඳහන් කළ යුතු වන්නේ දරුවන් වැරදි කළ පමණින් දෙමව්පියන් ද වැරදි කරන්නේ නම් සමාජයට ඉන් සිදු වන අයහපත කෙතරම් ද යන්නයි. එසේම වෛද්‍ය සිසුන්ගේ වැරදි ක්‍රියාවන් සමාජයට පිළිකාවක් බවට පත්වී ඇති අවස්ථාවක දෙමව්පියන් ඒවාට අනුබල දෙමින් මෙරටේ අහිංසක ජනතාවගේ බදු මුදල් නිකරුණේ වැය කිරීමට මෙසේ සහයෝගය දැක්වීම අතිශය කණගාටුදායක බව ද අවසාන වශයෙන් අවධාරණය කරමි.

(ඡායාරූපය උපුටා ගන්නා ලද්දේ www.lankatruth.com වෙබ් අඩවියෙනි.)

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

ආශ්‍රිත ලිපි
දෙමව්පියන්ගේ කඳුළු වලට සාධාරණය ඉල්ලන රූපවාහිනී දැන්වීම්
ජවිපෙ – පෙරටුගාමී මොළ සේදීම් වලින් බිල්ලට ගන්නා තරුණ පරපුර රැකගනිමු!
අට්ටාලයේදී අවුරුදු සමරා සයිටම් අරගලයට ලකුණු දා ගැනීම
කුහක සයිටම් විරෝධය හා නූතන ශයිලොක්ලාගේ දේශපාලන නාඩගම
දෙරණේ “අලුත් පාර්ලිමේන්තුව” ට ඇවිත් අන්තරේ ළහිරු රෙදි ගලවා ගැනීම
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි විරෝධය සාධාරණද?

Comments

comments

One comment

  1. දෙමාපියන් එහෙම එන්නේ ළමයින්ගේ සහයෝගයට නේද? මෙතන දුප්පත් දෙමාපියන් සහ පොහොසත් දෙමාපියන් අතර ප්‍රශ්නයක් වගේ අන්තිමට පේන්නේ . වැරැද්ද එතනද මන්ද

Please comment using your facebook account.