0

සමාජ මාධ්‍ය අවහිර කර ශිෂ්ටත්වයට පාර කැපීම

පසුගිය දිනවල මෙරට ඇතැම් ප්‍රදේශවල ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය තුළ අසත්‍ය ප්‍රචාර පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් සමාජ මාධ්‍යවලට පිවිසීම අවහිර කරන ලදි. විශේෂයෙන්ම ෆේස්බුක් වෙබ් අඩවිය ඇතුළුව වර්තමානයේ දී මෙරට තුළ ජනප්‍රිය වී පවතින වට්ස්ඇප් සහ වයිබර් ආදී වූ ජංගම දුරකථන යෙදුම් ද ඒ ඔස්සේ අවහිර කිරීම සිදුකළ බව වාර්තා විය. කෙසේ වුවත් එම අවහිර කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් විවිධ අදහස දැක්වීම් ද ඉදිරිපත් වූ අතර එසේ සමාජ මාධ්‍ය භාවිතයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කරමින් රට තුළ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කර ප්‍රචණ්ඩත්වය කරා සමාජය මෙහෙයවමින් සිටින අවස්ථාවකදී එය වළක්වා ශිෂ්ටත්වයට‍ පාර කැපීම සඳහා සමාජ අවහිර කිරීම පිළිබඳ විමසා බැලීම මෙම සටහන තැබීමේ අරමුණයි.

සමාජ මාධ්‍ය අවහිර කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ උදාහරණ ඇතත් මෙරට තුළ එවැන්නක් ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය වේ. එනම් සමාජ මාධ්‍ය පිළිබඳව ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ අරාබි වසන්තය තුළදී මෙන්ම චීනය සහ ඇතැම් මැදපෙරදිග රාජ්‍යන්ද ලෝකයේ ජනප්‍රිය සමාජ මාධ්‍ය සේවා එම රටවල් තුළ භාවිත කිරීම අවහිර කර තිබේ. කෙසේ වුවත් ෆේස්බුක් ඇතුළු ලොව ජනප්‍රිය සමාජ මාධ්‍ය සේවා ශ්‍රී ලංකාව තුළ අවහිර කිරීම පසුගිය දින කිහිපය තුළ අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වූයේ මෙරට ඇතැම් පුද්ගලයින්ගේ සමාජ මාධ්‍ය භාවිතය සමාජයට දැඩි හානිදායක වූ බැවිනි. එනම් බොහෝ අසත්‍ය ප්‍රචාරවල වාහකයා බවට එම සමාජ මාධ්‍ය පත්වීම තුළ ඒවා සඳහා වැට බැඳීමේ ප්‍රබල අවශ්‍යතාවක් නිර්මාණය වීමත් සමඟ එසේ මෙරට තුළ සමාජ මාධ්‍ය අවහිර කිරීම සිදුවිය.

මෙම අවහිර කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර මෙන්ම ප්‍රචණ්ඩත්වය සඳහා හේතුවන අදහස් ප්‍රචාරය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන් නීතිය හමුවට ගෙන ඒම රජය විසින් අනුගමනය කළ ඉතා සාධනීය පියවරකි. එනම් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් මඟින් අන්තර්ජාලයට පිවිස සමාජ මාධ්‍ය භාවිත කරමින් සමාජයට හානිකර මත ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම සමාජ මාධ්‍ය තුළ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවභාවිත කිරීමක් ලෙස සැලකිය හැකි බැවිනි. එබැවින් එසේ සමාජ මාධ්‍ය මඟින් ප්‍රචණ්ඩත්වය සහ අසත්‍ය මත පැතිරවීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය අවහිර කිරීමට කටයුතු කිරීම සහ එවැනි හානිදායක ක්‍රියාවල නියැලුණු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මඟින් එම ක්‍රියා මැඩපැවැත්වීමට හැකිවූ බව සඳහන් කිරීම වැදගත්ය.

විශේෂයෙන්ම ෆේස්බුක් පිටු සහ සමාජ මාධ්‍ය තුළ කණ්ඩායම් පවත්වාගෙන යනු ලබන පරිපාලකවරුන් ජනමාධ්‍ය පිළිබඳ පිළිගත් කිසිදු විධිමත් අධ්‍යාපනයක් ලබා නොමැති පිරිසක් වන අතර ඔවුන් මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් හෝ මාධ්‍ය භාවිතය මඟින් ඇතිවන සමාජ බලපෑම් පිළිබඳ මෙන්ම වගකීම් සහගතව තොරතුරු ඉදිරිපත් කිරීම ආදිය සම්බන්ධයෙන් ද කිසිදු අවබෝධයක් නොමැති පිරිසක් වේ. මෙම තත්ත්වය ඇතැම් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය තුළ ද දක්නට ලැබෙන නමුත් යම් ගැටළු සහගත අවස්ථා දක්නට ඇතත් ඒවා සමාජ මාධ්‍ය මෙන් නොව යමකිසි පාලනයක් සහිතව ක්‍රියාත්මක වන නිසා ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල වගකීම් විරහිත මාධ්‍ය භාවිතය සමාජ මාධ්‍යවල තත්ත්වයට පත්ව නොමැති බව කිව යුතුය. එහෙත් සමාජ මාධ්‍ය තුළ තොරතුරු ප්‍රචාරය කරනු ලබන පිටු පරිපාලකවරුන් සහ සමාජ මාධ්‍ය කණ්ඩායම්වල පරිපාලකවරුන් කිසිදු වගකීම් සහගතභාවයකින් තොරව තොරතුරු ප්‍රචාරය සඳහා කටයුතු කිරීම දක්නට ලැබෙන අතර ඒවා ඔස්සේ ඇතිවන විනාශකාරී සිදුවිම් වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය අවහිර කර එවැනි තැනැත්තන් නීතිය හමුවට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුත්තක් බවට පත්වන්නේ ඔවුන්ට තවදුරටත් නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දීම සමාජය විනාශ මුඛය කරා කැඳවාගෙන යනු ලබන හේතුවක් වන බැවිනි.

මෙසේ සමාජ මාධ්‍ය අවහිර කිරීම මෙන්ම අසත්‍ය ප්‍රචාර ඒ ඔස්සේ පැතිරවීම වැළැක්වීම සඳහා රජය විසින් කටයුතු කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව වෙතින් කවර අදහස් ඉදිරිපත් වුවත් මට අනුව නම් එය කාලෝචිත ක්‍රියාවකි. සමාජ මාධ්‍ය සමාජ යහපත උදෙසා භාවිත කළ හැකි මෙවලමක් වන අතර එය සමාජ විනාශය කරා ද මෙහෙයවිය හැකි අවියක් වේ. එබැවින් සමාජ විනාශය සඳහා සමාජ මාධ්‍ය අගතිගාමී අන්දමින් මෙහෙයවමින් පවතින විට ඒ සඳහා වැට බැඳ ශිෂ්ටත්වයට පාර කැපීම තුළ වාරණයකින් තොරව අදහස් සමාජගත කිරීමේ මාධ්‍යයක් ලෙස සමාජ මාධ්‍ය තුළ පවත්නා වැදගත්කම අහිමිවීමට එය හේතුවක් බවට පත් නොවූ බව ද මාගේ හැඟීමයි.

ඒ අනුව මෙරට තුළ මෙසේ සමාජ මාධ්‍ය අවහිර කිරීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය වැපිරූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මඟින් ඉතා වැදගත් පණිඩිවයක් ද සමාජගත කර ඇති බව පැවසිය හැකිය. එනම් සමාජ මාධ්‍ය සමාජයට හානිදායක වන අයුරින් භාවිත කරමින් තවදුරටත් පටු අරමුණු සහිතව ක්‍රියාකිරීමට එරෙහිව නීතියේ මැදිහත්වීම සිදුවන බවයි. එමඟින් සමාජ මාධ්‍ය භාවිතය වඩාත් වගකීම් සහගත තත්ත්වයට පත්කිරීම සඳහා මාර්ගෝපදේශ සැපයීමට ද කටයුතු කළ හැකි වන අතර ඒ ඔස්සේ විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වය පැතිරවීමේ මෙවලමක් ලෙස සමාජ මාධ්‍ය යොදා ගැනීම වැළැක්වීම මඟින් සමාජ මාධ්‍ය සතු ශක්‍යතා සමාජ යහපත උදෙසා පමණක් භාවිත කිරීම සඳහා පොළඹවමින් ශිෂ්ටත්වයට පාර කැපීම ද සිදුකරනු ඇත.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.

 3,062 total views,  1 views today

Comments

comments