0

හුදී ජන පහන් සංවේගය පිණිස ලියා දක්වන “රයන් ජයලත්” වීරයාගේ කතා වස්තුව

ලංකාවේ ඊනියා ශිෂ්‍ය දේශපාලනය තුළ දැන් අලුත් වීරයෙකු පහළ වී තිබේ. එනම් දැනට සති දෙක තුනකට කලින් නම් නම කියූ විට ඒ කවුදැයි කියා ඇසූ බොහෝ දෙනෙක් දැන් මේ නම කියූ විට ඒ කවුදැයි කියා හඳුනයි. මේ ඒ අලුත් වීරයා සහ ඔහුව බිහිකළ අවස්ථාවාදී දේශපාලනය පිළිබඳ හුදී ජන පහන් සංවේගය පිණිස  තබන සටහනකි.

මෙසේ දැනට සති දෙක තුනකට පෙර ලංකාවම දැන හඳුනාගත් මේ අලුත් වීරයාගේ නම රයන් ජයලත්ය. ඔහු කවුදැයි කියා තවත් විස්තර ඇතුව කියනවා නම් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරුය. මෙම වීරයාගේ නම ඉස්මතු වන්නේ පසුගිය දවසක පොලීසියේ ඇත්තන්ම කළ එක්තරා ක්‍රියාවක් හේතුවෙනි. ඒ වරෙන්තු ගණනාවක් ලබා සිටින මොහුව අත්අඩංගුවට ගැනීමට මොහු මාධ්‍ය සාකච්ඡාවක් නිමාවී එළියට එමින් සිටිය දී උත්සාහ කිරීම තුළ ඊට ජවිපෙ ඇතුළු එම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වී සිටි පුද්ගලයින්ගේ මැදිහත් වීමෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ඉඩ ලබා නොදීම නිසාය. ඉතින් එතැන් පටන් සෑම මාධ්‍යයකම උදේ හවස මේ නම සඡ්ඡායනය වන්නට පටන් ගත් බැවින් වෛද්‍ය සිසු සිසුවියන් මහ පාරවල් ගානේ දක්කාගෙන යන කොටින්ම කිව්වොත් වෛද්‍ය සිසු සිසුවියන් පාරට බස්සන මේ ශිෂ්‍ය කැඳවුම්කරුවා වීරයෙකු බවට පත්විය. ඔහු ගැන නොදත් උන් මේ කවුදැයි කියා දැන ගත්තේ මේ දෛවෝපගත සිදුවීමට පින් සිදුවන්නටය.

රයන් නම් මේ වීරයා මේ දිනවල අපේ රටේ ජනප්‍රියම වීරයා බවට පත් වී සිටින්නේ කාලානුරූපව ඊනියා ශිෂ්‍ය දේශපාලනයේ බිහිවූ වීර නාමාවලියේ අනුප්‍රාප්තිකයා වශයෙනි. එනම් එක් එක් කාලෙට අන්තරය ඇතුළු “සරසවි සිසුන් කාලකන්නි කිරීමේ සංවිධාන” වල නායකත්වයට පත්වන ජවිපෙ-පෙරටුගාමී අතකොළු මෙම වීර නාමාවලිය අලුත් කරමින් සිටියි. එසේ රයන්ට පෙර වීරයා බවට පත්වී සිටියේ ලහිරු වීරසේකරය. ඌ දැන් ඇතුළේය. ඌ වෙනුවට වැඩ බලන එකෙක් දැන් රටේ තියෙන වැදගත්ම ප්‍රශ්නය වන සයිටම් විරෝධයට නායකත්වය දී තිබේ. රයන් ජයලත් රටේ පොරක් බවට පත්වන්නේ මේ අතරේදීය. ඉතින් කාලෙන් කාලෙට මෙහෙම බිහිවන වීරයින්ගේ ගමන රිමාන්ඩ් ගත වීමෙන් අහවර වන නිසා මේ වීරයාගේ ගමන ගැනත් සැකයක් උපදවා ගන්නට උවමනා නැත. එතෙක් දිය හැලියේ ජබු ගසන්නට මේ වීරෝත්තමයාට ඉඩ ලබා දිය යුතුය.

රයන් ජයලත් වීරයෙකු බවට පත් කළ ව්‍යාපෘතියට මෙවරත් කර ගසා සිටින්නේ යන එනමක් නොමැති වී සිටින ජවිපෙ-පෙරටුගාමී සහ දැන් නම් ඒකාබද්ධ විපක්සයත් නියෝජනය කරන ඇතැම් උදවියයි. ජවිපෙට හා පෙරටුගාමීන්ට නම් ඊනියා ශිෂ්‍ය වීරයින් බිහි කිරීමේ මනා පුහුණුවක් ඇතත් ඒකාබද්ද විපක්සයේ ඇතැම් උදවිය මේ රයන් ජයලත්ලා සමඟ එකම වේදිකාවකට නැග බෙරිහන් දීමේ වුවමනාව ද ජවිපෙ හා පෙරටුගාමීන්ගේ වෘත්තියට වඩා එහාට ගිය කපටිකමක් බව අමුතුවෙන් කිව යුතු නැත. දැන් රයන්ලා ඉටු කරමින් සිටින ජවිපෙ-පෙරටුගාමීන්ගේ සිහින හැබෑ කිරීමේ ව්‍යාපෘතිය මේ අනුව ඒකාබද්ද විපක්සයේ ඇතමුන්ගේ උවමනා එපා කම් ඉටු කිරීම දක්වාම දැන් දිග්ගැස්සී ඇත. මේවා දකිද්දී කියන්නට හිතෙන්නේ අනේ අපොයි අපේ කැම්පස් ළමයිනේ කියාය. මොකද සයිටම් විරෝධය කීවාට දැන් මෙතන ඇත්තේ තනිකරම දේශපාලන ව්‍යාපෘතියකි. එය ජවිපෙ-පෙරටුගාමීන්ගේ දවල් හීන හැබෑ කිරීමට කටයුතු කරනවාට වඩා දුරදිග ගොස් ඇති ඉගුරු දී මිරිස් ගන්නවා වැනි වර්ගයේ වැඩකි.

මේ රයන් ජයලත් වීරයා සහ ඔහුගේ කීමට පාරට බහින සිසු සිසුවියන් ජවිපෙ-පෙරටුගාමීන්ගේ දේශපාලන අතකොළුවක් බවට පත්වී ඇති බව හැමෝම දන්නා කාරණයකි. එහෙත් දැනට අවුරුදු කීපයකට කලින් රයන් ජයලත්ලා අද වගේ පාරවල් ගානේ කෑ ගගහා යද්දී ඔවුන්ට කඳුළු ගෑස් බැටන් පොලු ප්‍රහාර එල්ල කරන විට අඳ ගොළු බිහිරන් සේ සිටි පුද්ගලයින් දැන් රයන්ලා වෙනුවෙන් පෙනී සිටීම රයන්ලාට සහ ඔවුන්ගේ ජවිපෙ-පෙරටුගාමී දේශපාලන අතකොළු වලට නම් අවුලක් නැති වුණත් අපිට නම් මේ වැඩේ පට්ටම කුජීත වැඩකි. මක්නිසාද යත් ජවිපෙ-පෙරටුගාමීන්ගේ උපන්ගෙයි අවස්ථාවාදයට වඩා මේ අවස්ථාවාදය භයානක වන නිසාය. කොහොම වුණත් රයන්ලා හැමදාම මේ එක එකාලාගේ ඉත්තන්ය.

රයන් වීරයාගේ කතාව නිමා කරන්නට කලින් පහුගිය දවසක කොළඹ ඉදන් නුවරට ගියපු සෙල්ලම් පෙරහැර ගැනත් වචනයක් මතක් කිරීම වැදගත්ය. මේ පෙරහැර පටන් ගත් දවසේ මොකක් හෝ වැඩකට මාත් සිටියේ බස් එකේ නුවරට යමින්ය. පේරාදෙණිය පාලම ඉවර වෙනවාත් එක්කම පොඩ්ඩක් එහායින් පෝලීම් ගැසී සිටි මේ පෙරහැර දිහා මාත් බස් එකෙන් එළියට ඔළුව දමා බැලුවෙමි. මං හිතුවේ අඩුම තරමින් පේරාදෙණිය කැම්පස් එකෙන් එහාටවත් මේ පෝළිම දිගට ඇත කියාය. මගේ ඒ බලාපොරොත්තුව කඩ කරමින් ගලහා හන්දියේ තැපැල් කන්තෝරුව හරියට එනකොට මේ පෝලිම ඉවරය. පිකට් එකකට යන්ට ළමයි 500 ක් පේරාදෙණියේ කැම්පස් එකෙන් එකතු කර ගන්නට බැරි තරමටම දැන් මේ සයිටම් විරෝධය ශක්තිමත් වෙලාය (අනිත් පැත්තෙන්). ඉතින් මහා පා ගමන කට්ටිය කියවන තරම් මහා එකක්මදැයි කියා වටහා ගන්නට තවත් උපහැරණ නුවුවමනාය.

මේ කතාවටම අදාළ වෙන තවත් යමක් ද කිව යුතුය. මේ සයිටම් විරෝධය දැන් අපේ රටේ ඇති බරපතළම ප්‍රශ්නය වන බව සහ මේක මේ මහා පිරිසක් සහභාගි වෙලා ඉන්න අති දැවැන්ත සටනක්ය කියා මිනිස්සුන්ට හිතෙන තැනට වැඩ කරන්නේ අපේ රටේ මාධ්‍ය ආයතනය. ඒ තුන් වේලේ සෑම ප්‍රවෘත්ති විකාශයක් තුළම සයිටම් යැයි නොකිව්වොත් ඒකෙ ගතියක් නෑ වගේ හැසිරෙන මාධ්‍ය ආයතනවල මහත්තුරු නිසාය. එනිසා පහුගිය දවසක පැවති අර සෙල්ලම් පෙරහැරත් ඇතැම් මාධ්‍යවල මහා ඉහළින් හෙඩ්ලයින් වල දමා ප්‍රවෘත්ති විකාශය පටන් ගද්දීම පෙන්නා ඒ වැඩේට දිය යුතු උපරිම සහයෝගය දුන්නේය. ඉතින් මේක බලන අපේ රටේ මිනිස්සු හිතන්නේ ඇත්තටම මේ සයිටම් ප්‍රශ්නෙ තරම් තවත් කිසිම ප්‍රශ්නයක් මේ රටේ නැතැයි කියාය. ඒ නිසා දේශපාලන අතකොළු බවට පත්වී ගහන ගහන පද වලට නටන උන්ගේ සෙල්ලම් පෙරහැරවල් තමන්ගේ ප්‍රවෘත්ති විකාශ වල මහා ලොකුවට පෙන්නන මාධ්‍ය මහත්තුරුත් මේ කරමින් ඉන්නේ අපේ රටේ අහිංසක දෙමව්පියන්ගේ මුදල් නාස්ති කරන වැඩවලට සහයෝගය දැක්වීම බව සිහියේ තබා ගත යුතුය.

කොහොමින් කොහොම හරි රයන් ජයලත් වීරයාගේ කතා වස්තුව තුළ නොකියාම බැරි අතීත වර්තමාන කතා කීපයක් ගැනත් මේ විදිහට සඳහන් කළේ මේ දේවල් හරියටම තේරෙන විදිහට කියන්නට වුවමනා වූ නිසාය. මෙසේ හුදී ජන පහන් සංවේගය උ‍දෙසා ලියා දක්වන ලද රයන් ජයලත් වීරයාගේ කතා වස්තුව මෙතනින් නිමියේය.

මෙම ලිපිය පිළිබඳ ඔබගේ අදහස් පහතින් සටහන් කරන්න.
ඔබ මෙහි පළ කරන අදහස් මම ඉතා අගය කොට සලකමි.
මාගේ නවතම ලිපි පිළිබඳ දැන ගැනීමට මාගේ Facebook පිටුවට Like කරන්න. නැතහොත් ඔබගේ E-mail ලිපිනය Subscribe කරන්න.

 1,210 total views,  1 views today

Comments

comments