0

2016/09/14 දින දිනමිණ පුවත

රාජපක්ෂවරුන්ගේ බලය බිඳ වැටුනේ සයිබර් විප්ලවයක් නිසාද?

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ අවසාන වසර විද්‍යාර්ථියෙකු වන සුරෝෂන ඉරංග විසින් රචිත තම කුළුදුල් ග්‍රන්ථය වන “සමාජ මාධ්‍ය සංස්කෘතිය” එළිදැක්වීමේ උත්සවය 2016.09.13 දින ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේදී පැවැත්වුණි.මේ අවස්ථාවට දේශමාන්‍ය සිරිසුමන ගොඩගේ මහතා,සුරෝෂන ඉරංගගේ දෙමව්පියන්,මණ්ඩපාධිපතිතුමා ප්‍රධාන ආචාර්ය මණ්ඩලය,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කථිකාචාර්ය එම්.ජේ.ආර්.ඩේවිඩ් මහතා,ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවයේ නියුතු ශ්‍රී පාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්ය දර්ශන අශෝක කුමාර මහතා ආරාධිතයින් ලෙස සහභාගී විය.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා සභාව ආමන්ත්‍රණය කරන ලදි.ආරාධිත දේශන අරඹමින් මණ්ඩපාධිපතිතුමා විසින් සදහන් කළේ අද්‍යතන සමාජ ක්‍රමයේ හුදෙකලා බව ගෝලීය මාධ්‍ය මගින් බිද හෙළිය බවත්,ගෝලීය සමාජ සංස්කෘතියේ ප්‍රසාරණය පිළිබදව සුරෝෂන ඉරංගගේ ‘සමාජ මාධ්‍ය සංස්කෘතිය’ ග්‍රන්ථය මගින් පුළුල් ලෙස සංවාදයට බදුන් කිරීම රික්තයක් පිරවීමක් වන බවයි.

ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතාගේ දේශනයේදී එතුමා විශේෂ හෙළිදරවුවක් කරන ලදි.එතුමා මානව ඉතිහාසය සන්නිවේදනය විෂය ආශ්‍රිතව යුග 3ක් ලෙස දක්වනු ලැබීය.එහි 3 වන යුගය වන මනුෂ්‍යයා නිදහස්ව තම විමුක්තිය සමාජ මාධ්‍ය හරහා සොයා යන යුගයක අප ජීවත් වන බවට මතයක් ඉදිරිපත් කරන ලදි.මෙමගින් පඨිතයේ කතෘ අඥාත නිසා සහ වාරණයකින් තොරව තම අදහස මතය ඉදිරිපත් කළ හැකි නිසා අද්‍යතන සමාජයේ සාහිත්‍ය,ලිංගිකත්වය,දේශපාලන විප්ලව පවා සමාජ මාධ්‍ය උපයෝගී කොටගෙන ක්‍රියාත්මක වේ.

2015 ජනාධිපතිවරණයේදී සිදු වූයේ මෙරට ඡන්ද දායක ජනතාවගේ හදවතේ ප්‍රකාශනයකට එහා ගිය ගෝලීය උපරි ව්‍යූහයේ ක්‍රියාකාරීත්වයකට මෙරට ජනතාව සමාජ මාධ්‍ය හරහා හුරුවීමක් බව මෙම ග්‍රන්ථය පාඨනය කිරීමෙන් කරුණු මනාව හෙළි වන බවයි.

කථිකාචාර්ය එම්.ජේ.ආර්.ඩේවිඩ් මහතා සදහන් කළේ සුදුත් නොවන කළුත් නොවන අළු පැහැති රිදී රේඛාවක් වෙත සමාජ මාධ්‍ය මගින් ජනතාව කැදවාගෙන යන බවයි.දර්ශන අශෝක කුමාර මහතා අදහස් දැක්වූයේ මෙම ග්‍රන්ථයෙන් සමාජ මාධ්‍ය භාවිතයේදී තරුණ තරුණියන් උපයෝගී කොට ගන්නා නව සංඥා භාෂාවක් ප්‍රථම වරට ශ්‍රී ලාංකේය සමාජයට හදුන්වා දෙනු ලබන බවයි.

අවසාන වශයෙන් ශ්‍රී පාලි මණ්ඩපයේ පුස්තකාලය සදහා ග්‍රන්ථ පිරිනැමීමක් කතුවර සුරෝෂන ඉරංග විසින් සිදු කරන ලදි.එහිදී අදහස් දක්වමින් ඔහු තමන්ගේ ජීවන අත්දැකීම් බෙදා ගත්තේය.ඔහු විසින් ග්‍රන්ථකරණය වෙත සියලු සහෝදරත්වයට ආයාචනයක්ද සිදු කළේය.

සටහන -ඉෂාර ලක්මිණ

 986 total views,  1 views today

Comments

comments